ගර්භණී සමයේදී දුම් පානය කරන කාන්තාවන්ගේ පිරිමි දරුවන් ඔවුන්ගේ ගැහැනු දරුවන් වඩා දිගුකාලීන අතුරු ආබාධ අත්විඳින බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.
මේ සඳහා ඇබර්ඩීන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් ජාන සම්බන්ධතා අධ්‍යනය කිරීම සඳහා එක්සත් රාජධානිය පුරා පුද්ගලයින් 500,000 කගේ දත්ත අධ්‍යයනය කළා.
මෙම කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ ඇබර්ඩීන් විශ්ව විද්‍යාලයේ පරිවර්තන වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වන මහාචාර්ය පෝල් ෆවුලර් විසින්.
ඒ අනුව ගර්භණී සමයේදී දුම්පානය කළ කාන්තාවන්ට උපදින පිරිමි දරුවන්, තමන්ද දුම්පානය කළහොත් අඩු වයසින් මියයාමට වැඩි ඉඩක් ඇති බව ප්‍රතිඵලවලින් පෙනී යන බවයි ඔවුන් පවසන්නේ.
දුම් පානය කරන්නන් සඳහා නව උපදේශන සහ උපාය මාර්ග නිර්මාණය කිරීමට වෛද්‍ය ප්‍රජාවට උපකාර කිරීමට ඔවුන්ගේ මෙම සොයාගැනීම් උපකාරී වනු ඇතැයි පර්යේෂණ කණ්ඩායම පවසනවා.
මෙම කණ්ඩායම මව්වරුන් සහ ඔවුන්ගේ වැඩිහිටි දරුවන් අතර ජානමය සම්බන්ධතාවය සොයා බැලුවා.
ස්කොට්ලන්තය, එංගලන්තය සහ වේල්සයේ පිහිටි මධ්‍යස්ථාන 22 ක පුද්ගලයින් 500,000 කගේ දත්ත ඒ සඳහා භාවිතා කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
ඒ අනුව ගර්භණී සමයේ මාතෘ දුම්පානය කාන්තාවන්ට වඩා පිරිමි කලල සහ වැඩිහිටි පිරිමි දරුවන්ට බලපාන බව ඔවුන් සොයාගෙන තිබෙනවා.
පිරිමි කළලවල අක්මාවේ ඇතැම් ජානවල වෙනස්කම් ගැබ්ගැනීමේ සති 17 සිට ම දක්නට ලැබුණා.
මෙම වෙනස්කම් වැඩිහිටි විය දක්වා ම පවතින අතර, පිරිමින්ට මේ හේතුවෙන් ආයු අපේක්ෂාව කෙටි වීම සිදුවන බව ද මෙමඟින් පෙන්නුම් කළ බව ඔවුන් සඳහන් කළා.
වැඩිහිටි පුරුෂයෙකු දුම්පානය නතර කළහොත් හෝ කිසි විටෙකත් දුම්පානය නොකරන්නේ නම්, එම ජාන වෙනස්කම් හා සම්බන්ධ අවදානම් අඩු කිරීමට හෝ ඉවත් කිරීමට ඔහුට හැකි වන බවත් ඔවුන් පෙන්වා දෙනවා.