“දළඳාව රැකුණොත්
රට රැකෙයි,
රට රැකුණොත්
රජු රැකෙයි..”
මහනුවර රාජධානිය අතැර ශ්‍රී වික්‍රම රාජසිංහ රජු හඟුරන්කෙතට පළායාමෙන් ශ්‍රී දළදා වහන්සේ රැක ගැනීමේ වගකීම පැවරී තිබුණු මල්වතු මහා නායක හාමුදුරුවන් වහන්සේ විසින් සිදු කරන ලද ඒ ප්‍රකාශය මෙදා පවසන්නේ විශිෂ්ට රූපණවේදී අමිත්ත වීරසිංහ යි. එය එසේ වූයේ කෙසේ ද යන්නට පිළිතුර ඉතාම ආසන්න දිනකදී අපට දැක ගත හැකි වනුයේ දේවින්ද කෝන්ගහගේ විසින් පර්යේෂණාත්මක ව තිර පිටපත රචනා කොට අධ්‍යක්ෂණය කළ “ගිරිවැසිපුර” නම් නිර්මාණය මෙරට සිනමාහල්වල තිරගත වීමෙනි.
“පෙරදිග වෙළෙඳ සමාගම විසින් කන්ද උඩරට ආක්‍රමණය කරද්දී කන්ද උඩරට ඉතිරි වන්නේ මල්වත්තේ නායක හාමුදුරුවන් පමණයි. උන් වහන්සේ ඒ අවස්ථාවේ සතුරු ආක්‍රමණයෙන් ශ්‍රී දළදා වහන්සේ ආරක්ෂා කළේ ඉතාම සූක්ෂ්මව සිය දේශපාලනික ඥානය උපයෝගී කරගෙනයි. උඩරට රාජධානිය බ්‍රිතාන්‍යයන්ට යටත් වීමෙන් පසුවත් මල්වත්තේ පන්සල කිසිදු වෙනසකින් තොරව රාජ්‍ය බලය සහිතව පවත්වාගෙන ගියේ මල්වත්තේ නායක හාමුදුරුවන් සතු ව තිබූ ඉතා සූක්ෂ්මභාවය නිසයි. ඒ කියන්නේ උන්වහන්සේගේ පිටතින් පෙනෙන ගති ලක්ෂණ නෙවෙයි චරිත අභ්‍යන්තරය තුළ තිබුණේ. එක පැත්තකින් රාජ්‍ය උපදේශකයකු හැටියට මල්වත්තේ හාමුදුරුවෝ රටේ පරිපාලනයට එහෙමත් නැත්නම් රාජ්‍යත්වයට ඉතා ඉහළ දායකත්වයක් ලබා දී තිබෙනවා. රජු වටා ඇති කුමන්ත්‍රණ හාමුදුරුවෝ වේලාසනින් හඳුනා ගන්නවා. රජු නායක්කර් වංශිකයෙක් වුණාට බෞද්ධ රටේ, බෞද්ධයින්ගේ මුදුන්මල්කඩ වන ශ්‍රී දළදා වහන්සේගේ හිමිකාරිත්වය තියෙන්නේ මල්වත්ත පන්සලට යි. උන්වහන්සේගේ පළමු වෑයම දළදාව රැකීමයි. දළදාව නැතුව රජුට රාජ්‍යත්වය පවත්වාගෙන යන්න බැහැ. මේ සියලු අවබෝධයන් එක්ක මේ චිත්‍රපටයේ තිර පිටපතත්, අධ්‍යක්ෂවරයාත්, මා තුළ යම් හැකියාවක් මෙතෙක් උපදවා ගෙන තිබුණා නම් ඒ දැනුම හා හැකියාවත් මේ චරිතය නිරූපණය කිරීමේදී මට සහායක් වුණා.”
මේ අමිත්ත රඟපෑ පළමු හාමුදුරු චරිතය නම් නොවේ. ඔහු මින් පෙර හාමුදුරු චරිත කිහිපයකම රඟපා සම්මානිත වී ඇත.
“මීට දෙවසරකට පෙර ධම්මික තිසේරාගේ ‘හේළංකඩ’ ටෙලි නාට්‍යයේ හාමුදුරුවන්ගේ චරිතය සහාය හොඳම නළුවාට නිර්දේශ වුණා. ඊට පෙර සුදත් දේවප්‍රිය අධ්‍යක්ෂණය කළ ‘සංගිලි පාලම’ ටෙලි නාට්‍යයේ හාමුදුරු චරිතය වෙනුවෙන් සුමති සම්මානයක් මට ලැබුණා. සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ ‘මොනරවිල’ ටෙලි නාට්‍යයේ ඉහගම හාමුදුරුවන්ගේ චරිතය ඊට වඩා වෙනස් වුණා. එම චරිත අතිශයින්ම බෞද්ධාගමික, දේශමාමක, ජාතිමාමක සෘජු හාමුදුරු චරිතයි. උන්වහන්සේලාගේ මතුපිට චර්යාව මඟින් අභ්‍යන්තරය විනිවිද පේනවා. නමුත් මල්වතු හාමුදුරුවන්ගේ චරිතය එහෙම චරිතයක් නෙවෙයි. මතුපිටින් හඳුනා ගන්නම බැරි, දේශ හිතෛශීන් එක්කත්, සතුරන් එක්කත්, ජනතාව එක්කත් කිසිදු වෙනස්කමක් නොපෙන්වා කටයුතු කරමින් පූර්ණ වගකීම දළදාව රැකීම කෙරෙහිම යොමු වූ සිත් ඇතිව සියල්ල දේශපාලනික ව මෙහෙය වූ ඉතා සූක්ෂ්ම චරිතයක් නිසා ඒක රඟපාන්න මට පහසු වුණේ නැහැ.”
අමිත්තගේ රංගනයන් සහිත වූ දේවින්ද කොන්ගහගේ “නාට්ටාමි ආමි” චිත්‍රපටය ඉතා කෙටි කාලයක් සිනමාශාලාවල ප්‍රදර්ශනය වූ බැවින් එය වැඩි දෙනෙකුට නරඹන්නට නොහැකි වන්නට ඇත. වර්තමානයේ බොහෝ ටෙලි නාට්‍ය ද චැනල්වලින්ම නිෂ්පාදනය කරන බැවින් ටෙලි රංගනයන් පිළිබඳවද ඔහු තුළ දැල්වුණු බලාපොරොත්තු නොවුණි.
“හොඳ චරිතයක් ලැබුණොත් මම රඟපානවා. මේ හිඩැස තුළ මං නිකම් ඉන්නේ නැතුව පසුගිය කාලේ පොතක් ලිව්වා. “මොනර පිහාටු” නවකතාවේ දෙවැනි මුද්‍රණයත් ඉතා හොඳින් අලෙවි වුණා. ඒ වගේම ඉහළ ප්‍රතිචාර ඒ පොතට ලැබුණා. පරාක්‍රම නිරිඇල්ලයන්ට සිනමාව පිළිබඳ ආචාර්ය උපාධිය පිරිනැමෙන්නට පෙර සිනෙ – ටෙලි – වේදිකාවේ පරාක්‍රම නිරිඇල්ල තීර්ථාවලෝකනය ‘පරාක්‍රමය’ නමින් මම ඔහු පිළිබඳ චරිතාපදානය ලිව්වා. ඔහුගේ ‘ළා හිරු දහසක්’ සහ ‘යශෝරාවය’ මා ජනප්‍රියත්වයේ ඉහළටම රැගෙන ආ ටෙලි නිර්මාණ ද්විත්වයයි. මාව ගොඩනැඟූ රූපවාහිනී ගුරුතුමා ඔහුයි. වර්තමානයේ නවකතාවලට තියෙන උනන්දුව චරිතාපදානවලට නැහැ. ඇත්ත වශයෙන්ම නවකතාවල තියෙන්නේ සැබෑ ජීවිතයේ චරිත සහ සිද්ධි ඇසුරෙන් නවකතාකරු විසින් ප්‍රතිනිර්මාණය කරන ලද කතාවයි. නමුත් චරිත කතාවල තියෙන්නේ සැබෑ ජීවිතයේ අපට හමුවූ සැබෑ චරිතයක සැබෑම ජීවන අත්දැකීම් සහ ජීවන ගලායාම පිළිබඳ කතාවයි. ඔහු හෝ ඇය බිහිවූ සමාජ සංස්කෘතික වටපිටාව පිළිබඳ කතාවයි. අතීත සමාජය චරිත කතා කියවන්න ගිජුකමක් තිබුණා. ඒ ඒ චරිත සංවර්ධනය වූ ආකාරය, ඔවුන් සමාජය තුළ ගොඩනැඟුණේ කෙසේ ද කියා දැන ගැනීමට නම් චරිත කතා කියවිය යුතුමයි. විශේෂයෙන්ම පාසල් දරුවන් තමන්ගේ ජීවන සංවර්ධනය ගොඩනගා ගැනීම උදෙසා චරිත කතා කියවිය යුතුයි. ඒවා කියවීමෙන් වර්තමාන තරුණ පිරිස තුළ චිත්ත වීර්යය ගොඩනැෙඟනවා. අද සමහර දරුවන්ට තමන්ගේ කටයුතු කළමනාකරණය කර ගන්න බැහැ. නමුත් අතීත චරිත කතා කියවද්දි පේනවා ඒ චරිත තනියම ගොඩනැඟී ඇති ආකාරය කෙබඳුද කියලා. ඒ නිසා චරිත කතා කියවා හැදෑරීම දරුවන් විශේෂයෙන් කළ යුතුයි. පාසල් විෂය නිර්දේශවලත් විවිධ අතීත චරිත කතා ඇතුළත් කර තියෙන්නේ ඒ නිසායි. චරිත කතා කියවීමෙන් අනුන්ගේ ජීවිතයක් තමන්ගේ ජීවිතයට බද්ධ කර ගැනීමේ හැකියාව ලැබෙනවා.”
කියවීම හීන වූ සමාජයක දරුවන් එසේ පෙලඹවීම සාර්ථක වෑයමක් නොවන බව බහු මතය වුවත් අමිත්ත දැක්වූයේ විකල්ප මතයකි.
“කියවීම හීන වෙලා කියන අදහස මතුවෙන්නේ පොත්, පත්තර අලෙවි වන ප්‍රමාණයේ අඩුව නිසා කියලායි මට නම් හිතෙන්නේ. නමුත් අද ළමයි නවීන තාක්ෂණික මෙවලම් එක්ක වේගවත් ගමනක් යනවා. ඔවුන් අන්තර්ජාලයේ සැරිසරමින් බොහෝ දේ කියවනවා. විද්‍යුත් ඉල්ලීම් මඟින් පොත් බාගත කරවාගෙන ජංගම දුරකතනය හරහා යන එන කන බොන ගමන් කියවනවා. හැමෝම නොවුණත් එහෙම ළමයි මට පාසල්වලදිත්, සරසවිවලදිත් හමුවෙනවා. පුවත්පත් වුවත් ජංගම දුරකතනයට කෙළින්ම ලැබෙනවා. බස් එකේ, දුම්රියේ, වාහනයේ යන එන ගමන් ඒවා කියවනවා. වැඩිය ඕනේ නැහැ. මුහුණුපොතට සටහනක් දැම්මාම කීදෙනෙක් ඒක කියවලා ප්‍රතිචාර දක්වනවා ද කියලා බැලුවාම මේ තරම් මේ සමාජය කියවනවා ද කියලා හිතෙනවා. සමහර අයගේ අදහස් බොහොම තර්කානුකූලයි. කියවීමක්, දැනුමක්, ඥානයක් නැතුව එවැනි පඬි අදහස් දක්වන්න අමාරුයි. එ් නිසා මම පොතක් ලියන හැම වෙලාවකම හිතන්නේ මේ පොත කොහෙන් හෝ පාඨකයින් කියවාවි කියා. මම ලේඛකයාගේ කාර්යය ඉටු කරනවා. කියවීම පාඨකයා සතුයි. අලෙවිය ගැන පාඨකයාට වගකීමක් නැහැ. ඒවා කියවා තමන් ලබන දැනුම අවබෝධය බවට පෙරළා ගැනීම නම් පාඨකයා විසින් කරගත යුතු වෙනවා.”