කොළඹ, කළුතර, ගම්පහ ඇතුළු තදාසන්න ප්රදේශවල ජනතාව ඔන්ලයින් මගින් ලබාගත් ක්ෂණික ණය ආපසු අයකර ගැනීම සඳහා කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු ගොනුකිරීම සීග්ර ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.
ජංගම දුරකථනය ඔස්සේ මාර්ග ගත ක්රමයට ණය ලබාගෙන නොගෙවා පැහැර හැරි පුද්ගලයන් පන්සියයකට අධික පිරිසකට එරෙහිව කොල්ලුපිටියේ සමාගමක් මගින් මෙම නඩු පවරා තිබෙනවා.
කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්රික්කයන්ට අමතරව හම්බන්තොට, ගාල්ල, මාතර, බෙලි අත්ත, අවිස්සාවේල්ල, කෑගල්ල, මාවනැල්ල, පොළොන්නරුව, හඟුරන්කෙත, මන්නාරම, පුත්තලම ඇතුළු දිවයිනේ විවිධ ප්රදේශවල පදිංචි පුද්ගලයන්ටද එරෙහිවයි මෙම නඩු පවරා ඇත්තේ.
මෙම නඩු කොළඹ අතිරේක දිසා විනිසුරු අරුණ වික්රමසිංහ ඉදිරියේ කැඳවූ අතර නීතිඥ ඩිල්ෂාන් වීරසේකර පැමිණිලිකාර සමාගම වෙනුවෙන් කරුණු දැක්වූවා.
2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ ලියාපදිංචි අදාළ සමාගමේ ඇප් එක සහ වෙබ් අඩවියට පිවිස කිසිදු සුරැකුමක් ඉදිරිපත් නොකර ණය මුදල් ලබාගෙන හිතාමතා ගෙවීම් පැහැර හැරි පුද්ගලයන්ට මෙම නඩු පවරා ඇති බවයි නීතිඥවරයා සඳහන් කළේ.
විත්තිකරුගේ ජංගම දුරකථන අංකය හරහා ලෝන්ම මෘදුකාංගයට උඩුගත කළ ජාතික හැඳුනුම්පත ඡායාරූපය හා බැංකු ගිණුම් අංකයට පැමිණිලිකාර සමාගම මාර්ගත ක්රමය ඔස්සේ රුපියල් ලක්ෂ 02 වඩා අඩු ණය බැර කර ඇති බවත්, එම ණය නියමිත පරිදි නොගෙවීම සම්බන්ධයෙන් සමථ මණ්ඩලයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එහිදී සමථයකට පත් නොවූ පුද්ගලයන්ට 2022 අංක 33 දරණ සුළු හිමිකම් කාර්ය පටිපාටිය ප්රකාරව නඩු පැවරූ බවත් නීතිඥවරයා පැවසුවා.
විත්තිකාර ණය හිමියාගෙන් අදාළ ණය මුදල් අයකර ගැනීමේ තීන්දුවක් ලබාදෙන ලෙසත්, ණය ලබාගත් දින සිට නඩුව අසා නිමවනතුරු ඊට අදාළ නෛතික පොළිය හා නඩු ගාස්තු ගෙවන ලෙසට නියෝග කරන්නැයි පැමිණිලි මගින් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.
පැමිණිලි වල කරුණු සළකා බැලූ අතිරේක දිසා විනිසුරුවරයා නොවැම්බර් 11 දින අධිකරණයේ කරුණු දක්වන ලෙසට විත්තිකරුවන්ට නොතිසි නිකුත් කරමින් නියෝග කළා.
ක්ෂණික ණය ගෙවීම පැහැරහැරි තවත් පන්සියයකට අධික පිරිසකට එන්තරවාසි යොමුකර ඇති බව පැවසූ නීතිඥවරයා එම නඩු විත්තිකරුවන් පදිංචි දිසා අධිකරණ බල ප්රදේශවල පැවරීමට කටයුතු කරන බවයි සඳහන් කළේ.