ඉතාලියේ කොසෙන්සා නගරයේ සෙක්රඩ්හාර්ට් රෝහලෙන් දින එකක් වයසැති අලුත උපන් දැරියක් පැහැරගෙන ගිය සිදුවීමක් වාර්තා වනවා.
රෝසා වෙස්පා (51) සහ ඇක්වා මොසෙස් (43) යන දෙදෙනා විසින් සිදුකරන ලද මෙම පැහැරගැනීම පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සාර්ථකව වළක්වාලීමට සමත් ව තිබෙනවා.
මෙහි විශේෂත්වය වන්නේ දරු ගැබක් ඇති ලෙස රංගනයක නිරතවූ මෙම කාන්තාව දැරිය පැහැරගැනීමෙන් පසු ඉක්මනින් නිවසට රැගෙන ගොස් තමන්ගේ දරුවා නිවසට ගෙන ආ ලෙස පෙන්වමින් හිතමිතුරන් ගෙන්වා සාදයක් පවත්වා තිබීමයි.
ඒ අනුව පොලිසිය ඇය හසුකරගන්නේ සාද අවස්ථාවේදීයී.
සිද්ධිය වූයේ 21 වනදා සවස 6.30ට පමණයි.
රෝහල් කාමරයක සිය 27 හැවිරිදි මව සහ මී මීත්තණිය සමඟ සිටි දැරිය, මුහුණ වසාගෙන රෝහල් සේවිකාවක් ලෙස පැමිණි කාන්තාවක් විසින් ළමා වෛද්‍යවරයා වෙත ගෙන යන බව පවසා රැගෙන ගොස් තිබෙනවා.
දැරිය ආපසු නොපැමිණීම ගැන සැක සහිත වූ මව සහ මී මිත්තණිය විමසීමෙන් පසු පැහැරගැනීම හෙළිවුණා.
රෝහලේ CCTV දර්ශනවල පෙනී ගියේ කාන්තාව සහ තොප්පියක් පැළඳි පිරිමියෙක් දැරිය රැගෙන යන ආකාරයයි.
පොලිසිය වහාම ක්‍රියාත්මකවී නගරයේ සියලු පිටවීමේ මාර්ග අවහිර කර තිබෙනවා.
කෙටි කාලයකින් පැහැරගන්නන් දෙදෙනා සහ දැරිය කාස්ත්රොලිබෙරෝ ප්‍රදේශයෙන් සොයාගැනීමට පොලිසියට හැකි වුණා.
පැහැරගන්නන් වූයේ විවාහක යුවළක් වන අතර කාන්තාව මාස 9ක් තිස්සේ ගර්භණීභාවය රඟපා තිබෙනවා.
පසුගිය සතියේ දරුවෙකු උපන් බව සමාජ මාධ්‍යවල පළකර තිබෙන ඔවුන්ගේ නිවසට ගිය පොලිසියට දක්නට ලැබී ඇත්තේ පිරිමි දරුවෙකුගේ පැමිණීම සැමරීමේ උත්සවයක්.
“මගේ දුව ආයෙත් වරක් බදාගන්න ලැබීම ඉතා සතුටුදායකයි. දැරිය හොඳින් ඉන්නවා. මගේ බිරිඳත් සාපේක්ෂව හොඳ තත්ත්වයේ ඉන්නවා,” යැයි දැරියගේ පියා පවසා තිබෙන අතර මව Facebook හි පළ කළ පණිවුඩයක “ඊයේ උපන් දෙමව්පියන් දෙදෙනෙක්” ලෙසයි.
අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනි සිය සමාජ මාධ්‍ය ගිණුමේ පළ කළ පණිවුඩයක පොලිසියේ කාර්යක්ෂම සේවය අගය කළා.
කොසෙන්සා නගරාධිපති ෆ්‍රැන්ස් කරූසෝ පැවසූ පරිදි දැරියගේ මව තවමත් කම්පනයෙන් පසුවන අතර, පොලිසියේ නිසි ක්‍රියාමාර්ග නිසා මෙම සිද්ධිය සතුටුදායක අවසානයකට පත්වුණා.
පොලිස් පරීක්ෂක ක්ලවුඩියෝ සෝලේ පැවසූ පරිදි පැහැරගන්නන්ගේ පවුලේ සාමාජිකයන් පවා මෙම සිද්ධිය වංචාවක් ලෙස නොදැන සිට තිබෙනවා.
කෙසේ වෙතත්, මෙය තවදුරටත් විමර්ශනය කළ යුතු බවයි ඔහු පැවසුවේ.
මේ වන Facebook පිටුවල විශාල පිරිසක් දැඩි විවේචන එල්ල කරමින් සිටින අතර රෝහලේ අධිපති සේවෙරියෝ ග්‍රෙකෝ පවසන පරිදි ඉදිරියේදී ආරක්ෂක විධිවිධාන තවදුරටත් තර දියුණු කිරීමට පියවර ගනු ඇති.