Latest News

‘ඇල්ල ඔඩිසි’ දුම්රියේ ඊ ටිකට්පත් සියල්ලම තත්පර 42කින් අසාමාන්‍ය ලෙස විකිණෙයි

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

විදේශිකයන්ගේ ආකර්ෂණය දිනාගත් උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල දක්වා වූ දුම්රිය ඊ ටිකට්පත් අන්තර්ජාලයට මුදාහැර තත්ත්පර 42ක් තුළ සියල්ල විකිණී අවසන් වීම පසුපස මහාපරිමාණ වංචාවක් සිදුවන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අදහස් දක්වමින් මේ බව අනාවරණය කළ නියෝජ්‍ය ඇමැතිවරයා, ටිකට්පත් ජාවාරම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබෙන බවද අවධාරණය කළා.

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම එහි සම සභාපතිවරු වන අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්තගේ සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් අබේකෝන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15දා) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.

සෑම සති අන්තයකදීම අන්තර්ජාලයට ටිකට්පත් 200ක් පමණ නිකුත් කරන අතර, මේ ආකාරයෙන් ක්ෂණිකව ටිකට්පත් සියල්ල මිලට ගන්නා කණ්ඩායම් රුපියල් 2,000 ක වටිනාකමින් යුත් ටිකට්පතක් විදේශිකයන්ට රුපියල් 16,000ට අළෙවි කළ අවස්ථා වාර්තා වන බව ද ඔහු සඳහන් කළා.

කොළඹ කොටුව, මහනුවර හා ඇල්ල දුම්රිය ස්ථාන කේන්ද්‍ර කරගනිමින් මෙම වැඩි මිලට දුම්රිය ටිකට්පත් අලෙවි කිරීමේ ජාවාරම ක්‍රියාත්මක වන බවත්, ඒ සඳහා දුම්රිය ස්ථාන පරිශ්‍රයේ ත්‍රිරෝද රථ ගාල්කරන පුද්ගලයන්ගේ සහාය ලැබෙන බවට තොරතුරු පවතින බවත් නියෝජ්‍ය ඇමැතිවරයා පැවසුවා.

දුම්රිය දෙපාර්තමේන්තුව ගමන් වාරය සඳහා අදාළ දිනයට වලංගු ඊ ටිකට්පත් මාසයකට ඉහතදී අන්තර්ජාලයට මුදාහරින බවත්, එසේ මුදාහැර බලා සිටියදී තත්පර 42ක් වැනි කෙටි කාලයකදී ටිකට්පත් සියල්ල විකිණී අවසන් වීම අඛණ්ඩව සිදුවෙමින් තිබෙන බවත් නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කළා.

පරිගණක සම්බන්ධයෙන් විශේෂ දැනුමක් ඇති පුද්ගලයකු හෝ කණ්ඩායමක් විසින් මෙය සිදුකරන බවට සැකයක් පවතින බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලට අදාළ වාර්තාව මෙතෙක් නොලැබුණු බවත් කී ඒ හෙතෙම, මෙය පාලනය කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවක් පැනනැඟී ඇතැයි ද අවධාරණය කළා.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට නම් පැමිණිල්ලක් සිදුකරන පුද්ගලයා අධිකරණ ක්‍රියාවලියට සම්බන්ධ විය යුතු බවත්, වැඩි මිලට ටිකට්පත් මිලට ගන්නා පිරිස් ඒ සම්බන්ධයෙන් චෝදනා කරන නමුත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට යෑමේදී සහාය නොදී මගහැරීම බරපතළ ගැටලුවක් බවත් පොලිසිය පැවසුවා.

World News