සිම්බාබ්වේ ජනාධිපති එමර්සන් මන්ගග්වා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි රට තුළ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අහෝසි කෙරෙන නීතියක් අනුමත කර තිබෙනවා.
ඒ අනුව ජනාධිපතිවරයාගේ තීරණය සම්බන්ධයෙන් අන්තර්ජාතික මානව හිමිකම් කණ්ඩායමක් වන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ප්‍රශංසාව පළකර ඇති බවයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ඔවුන් පවසා ඇත්තේ සිම්බාබ්වේ ජනාධිපතිවරයා විසින් බලාත්මක කළ නව නීතිය ”බලාපොරොත්තුවේ ආලෝකයක්” බවයි.
එහෙත් හදිසි අවස්ථාවකදී මරණ දණ්ඩනය නැවත ක්‍රියාත්මක කිරීමට හැකි ආකාරයෙන් ප්‍රතිපාදන ඉතිරි කොට තැබීම පිළිබඳව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් කණගාටුව පළකර තිබෙනවා.
ජනාධිපතිවරයා මෙම පියවර ගෙන ඇත්තේ, සිම්බාබ්වේ පාර්ලිමේන්තුව ඉකුත් දෙසැම්බර් මාසයේදී මරණ දඬුවම අහෝසි කිරීමට පක්ෂව ඡන්දය දීමෙන් පසුව බවයි පැවසෙන්නේ.
සිම්බාබ්වේ රාජ්‍යය තුළ අවසන් වරට 2005 දී එල්ලා මැරීම මරණ දඬුවම ලෙස ක්‍රියාත්මක කළ නමුත්, එටර අධිකරණ මගින් මිනීමැරුම් වැනි බරපතල අපරාධ සඳහා වරදකරුවන් වන පුද්ගලයන්ට එරෙහිව මරණ දඬුවම පැනවීම අඛණ්ඩව සිදුකර තිබෙනවා.
එවැනි පුද්ගකයන්ගේ අපරාධයේ ස්වභාවය, මරණ දණ්ඩනය නියම වූ කාලය සහ ඔවුන්ගේ පෞද්ගලික තත්වයන් සළකා බලන ලෙස විනිසුරුවරුන්ට දැනුම්දීමත් සමඟ, එම වරදකරුවන්ට අධිකරණය විසින් නැවත දඬුවම් නියම කරනු ඇති බව සිම්බාබ්වේ රජයට අයත් හෙරල්ඩ් පුවත්පත වාර්තා කරනවා.
සිම්බාබ්වේ අධිකරණ අමාත්‍ය සියම්බි සියම්බි පවසන්නේ, මරණ දණ්ඩනය අහෝසි කිරීම නීතිමය ප්රතිසංස්කරණයකට වඩා වැඩි දෙයක් බවයි.
එය යුක්තිය සහ මනුෂ්‍යත්වය සඳහා සිම්බාබ්වේ රජයේ කැපවීමේ ප්‍රකාශයක් බව ද ඔහු පවසනවා.
බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේදී සිම්බාබ්වේ රාජ්‍යයට මරණ දඬුවම හඳුන්වා දී තිබෙනවා.
ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානයට අනුව 2023 වසර අවසානයේ පුද්ගලයන් 60 දෙනකුට පමණ එරට මරණ දඬුවමට නියම කර තිබෙනවා.