Latest News

සුනාමියෙන් මියගිය අය ගැන වසර 20කට පසුව ඇසෙන අමුතු කතාවක්

Published 15 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මතකයත් එක්ක බැඳුණු ගොඩක් කතා ගැන අදටත් සාක්ෂි තිබෙනවා. මේ කියන්නේ අන්න ඒ වගේ තවත් එක් කතාවක්..

සුනාමියෙන් මියගිය දහස් ගණනක් අතරේ කරාපිටිය රෝහලට පමණක් ගෙන එන ලද මළසිරුරු සංඛ්‍යාව එක්දහස් දෙසියකට අධිකයි.

ඒවායින් මළසිරුරු තුන්සියකට ආසන්න ප්‍රමාණයක් අදටත් හඳුනාගෙන නැහැ.

මේ ගැන කරාපිටිය රෝහලේ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රොහාන් පී. රුවන්පුර පැවසුවේ මෙන්න මේ වගේ කතාවක්…

සුනාමියෙන් මියගිය අය හඳුනා ගැනීමට කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍යවරුන් ගත් ක්‍රියාමාර්ග නිසා මිහිදන් කිරීමෙන් පසුවද සිරුරු සිය ගණනක් හඳුනා ගැනීමට හැකි වී තිබෙනවා. එහෙත් වසර විස්සක් ගතවුවත් තවමත් හඳුනා නොගත් තුන්සියකට ආසන්න පිරිසක් සමූහ මිනීවළේ අදටත් සැතපෙත බව අධිකරණ වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

හදිසි මරණයකදි අඩුම වශයෙන් සාක්කි දෙකක්වත් කැඳවා මරණ පරීක්ෂණයක් සිදු කළ යුතු වුවත් සුනාමියෙන් හතළිස් දහසකට ආසන්න පිරිසක් දියේ ගිලි මියගියද වෙනදා මෙන් ඒ එකකටවත් මරණ පරීක්ෂණ හෝ පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වූයේ නැහැ.

එදින කරාපිටිය රෝහලට ගෙන එන ලද මළසිරුරු සංඛ්‍යාව එක්දහස් දෙසීයකට අධික සංඛ්‍යාවෙන් එදිනම රෝහලට පැමිණි ඥාතීන් විසින් හඳුනාගනු ලැබූ මළසිරුරු දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් ගෙන ගොස් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාට දන්වා ඒවා මිහිදන් කළ ලද අතර පසුව පැමිණි පිරිස තවත් මළසිරුරු පන්සිය පනහක් පමණ හඳුනාගත්තා.

එම මළසිරුරු වෙනුවෙන් මරණ සහතික නිකුත් කරන ලද අතර තවත් මළ සිරුරු හාරසිය පනහක් හඳුනා ගැනීමට ඥාතීන් කිසිවකුත් ඉදිරිපත් වී නැහැ.

මේ නිසා එම මළසිරුරු සමූහ මිනී වළක තැන්පත් කෙරුණා. ඒවා තැන්පත් කරනු ලැබුවේ ඡායාරූප ගෙන ලේඛනගත කිරීමෙන් පසුවයි.

එසේ ගන්නා ලද ඡායාරූප ප්‍රදර්ශනයට තැබීමෙන් පසු පැමිණි ඥාතීන් සියයකට ආසන්න පිරිසක් තම ඥාතීන් හඳුනා ගත් නමුත් මෙහිදී අධිකරණ වෛද්‍ය නිලධාරීන්ට පැවරුණේ බරපතළ වගකීමක්.

දහසකට අධික මළසිරුරු සංඛ්‍යාවක පරීක්ෂණ කටයුතු මෙහෙයවූ කරාපිටිය රෝහලේ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රොහාන් පී. රුවන්පුර මහතා එදින පැවරුණ බරපතළ වගකීම පිළිබඳව මෙසේ විස්තර කළා.

“සුනාමියෙන් සිදු වූ සියලුම මරණ හදිසි මරණයි. ඒ නිසා ඒවාට මරණ පරීක්ෂණ පැවැත්විය යුතුයි. ඒ සඳහා කරාපිටිය රෝහලට වැඩිපුර හදිසි මරණ පරීක්ෂකවරුන් ගෙන්වා ගත්තා. විශාල මළසිරුරු ප්‍රමාණයක් එකවර ගෙනා නිසා හඳුනා ගත් අයට ඒවා ඉක්මනින් නිදහස් කළා. ඒවා කපා පරීක්ෂා කිරීමට අවශ්‍ය වුණේ නැහැ. නමුත් දින ගණනකට පසුව ලැබුණු ඒවා කපා පරීක්ෂා කළා. මළසිරුරු පන්සිය පනහක් විතර නිදහස් කළ පසු හාරසියපනහක් ඉතිරි වුණා. එයින් හතළිහක් ළමා මළසිරුරුයි. ඔවුන්ගේ දෙමව්පියන් දෙදෙනාම මියගිහිල්ලා. මෙතරම් මළසිරුරු ප්‍රමාණයක් තබා ගැනීම අපට ප්‍රශ්නයක් වුණා. මළසිරුරු විශාල ප්‍රමාණයක් තැබීමට අධිශීතකරණ නැති නිසා අයිස් ගෙනැවිත් දැමීමට බැලුවා. අයිස් කුට්ටි ගෙනැවිත් ලීකුඩු සමග කලවම් කොට පැය විසි හතරකට වරක් දැමිය යුතුයි. නමුත් අයිස් කම්හල් සියල්ල ද විනාශ වී තිබුණා. ඊළඟට අපි බැලුවා එම්බාම් කිරීමට. නමුත් එතරම් විශාල ප්‍රමාණයක් එම්බාම් කිරීමට රසායනික ද්‍රව්‍ය ප්‍රමාණවත් තරමට තිබුණේ නැහැ. එනිසා ‘ලයිට් එම්බාම්’ එකක් කළා. එයින් මැස්සන් ඒම සහ පණුවන් ගැසීම වළක්වා පැය හතළිස් අටක් දක්වා තබා ගැනීමට පුළුවන් වුණා.

කිසිම කෙනකු නොහඳුනන අයෙක් ලෙස මිහිදන් නොකිරීම තමයි අධිකරණ වෛද්‍ය විද්‍යාවේ කාර්යභාරය හා වගකීම වන්නේ. ඒනිසා මළසිරුරු ඡායාරූපගත කර මිහිදන් කිරීමට මහෙස්ත්‍රාත්වරයාගෙන් නියෝගයක් ලබාගත්තා. සාමාන්‍ය ඡායාරූපවලින් හඳුනා ගැනීම අපහසු නිසා මළසිරුරේ තිබූ ඇඳුම් සකස් කරල ඡායාරූප ගෙන වයස හැඩරුව උස අනුව ලේඛනගත කළා. එයට අමතරව පැළඳ සිටි ආභරණ, වෙනත් බාහිර ලක්ෂණ හා සන්තකයේ තිබූ දේවල් විවිධ කෝණවලින් ඡායාරූපගත කළා. මෙහිදී විශේෂයෙන් පරණ කැලැල් සහ පච්ච ආදිය ඡායාරූපගත කළා. ඒ සඳහා ඉහළ තාක්ෂණික කැමරා පාවිච්චි කළා.

එපමණක් නොවෙයි ජාන පරීක්ෂණ සඳහා ද සමහර මළසිරුරුවල කොටස් ලබා ගත්තා. එය රුධිර සාම්පලම විය යුතු නැහැ. ඕනෑම සාම්පලයකින් ඩී.එන්.ඒ. පරීක්ෂණ කිරීමට පුළුවන්. එහෙත් එයට පළමු පියවරේ ඥාතීන් අවශ්‍යයි. ඒ කියන්නේ මව, පියා හෝ සහෝදර සහෝදරියනුයි. සුනාමියෙන් අතුරුදන්ව තිබූ අයගේ සිරුරු සියයක් පමණ පසුව සොයා ගනු ලැබුවා. ඒවායේ කොටස් ආරක්ෂාකාරීව තබාගෙන සිටියා. නමුත් එම සාම්පල නරක්වී තිබූ නිසා වසර දහයකට පසු විනාශ කළා.”

World News