Latest News

මිහි මත දැවැන්තම ක්‍රීඩා උලෙළේ සමාරම්භය අදයි

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලොව අති දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වන මිහි මත දැවැන්තම ක්‍රීඩා උලෙළේ සමාරම්භය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 11ට ආරම්භ වනවා.

ඔලිම්පික් ඉතිහාසයේ මුල් වරට සමාරම්භක උත්සවය ක්‍රීඩාංගණයක නොපැවැත්වෙන අතර ඒ වෙනුවට ලොව සෑම ජාතියක්ම නියෝජනය කරමින් ප්‍රංශයේ සෙයින් නදිය ඔස්සේ බෝට්ටු 100කට ආසන්න ප්‍රමාණයක පෙළපාළියකින් සමාරම්භක උලෙළ වර්ණවත් කිරීමට සැලසුම් කොට තිබෙනවා.

ක්‍රීඩා උලෙළට එක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තම රටවල ජාතික ධජ ප්‍රදර්ශනය කරමින් එම බෝට්ටුවල නැඟී ගමන් කිරීම විශේෂත්වයක්.

ඔලිම්පික් ක්‍රීඩා උලෙළට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 6ක් හා නිලධාරීහු 9ක් මේ වන විට ක්‍රීඩා ගම්මානයට පැමිණ සිටින අතර, ශ්‍රී ලංකා ධජය රැගෙන හෙල්ල විසි කිරීමේ ශූරී දිල්හානි ලේකම්ගේ ඇතුළු කණ්ඩායම සමාරම්භක උලෙළේ ගමන් කිරීමට සූදානමින් සිටිනවා.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මහතා ක්‍රීඩා උලෙළේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වන අතර ඔහු විසින් ක්‍රීඩා උලෙළ විවෘත කිරීමට නියමිත‍ය. 81 හැවිරිදි අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් කොරෝනා රෝගයෙන් සුවය ලබන බැවින් ජනාධිපති ආර්යා ජිල් බයිඩ්න් ඔලිම්පික් සමාරම්භයට සහභාගිවීම උදෙසා ප්‍රංශයට පැමිණියා.

යුද්ධයෙන් විනාශ වූ යුක්රේනයේ ජනාධිපති වොලඩයමේයර් සෙලන්ස්කි මහතාට පැය තුනක උත්සවයට සහභාගි වන ලෙස ආරාධනා කළද ඔහු සහභාගි වන්නේද යන්න තවමත් ප්‍රකාශ කර නැහැ.

ප්‍රංශය සමඟ සබඳතා ශක්තිමත් කර ගැනීමට උනන්දු වන නව බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර්, මේ දර්ශනීය සමාරම්භක උලෙළ නැරඹීම උදෙසා පැමිණෙන බව සනාථ කොට තිබෙනවා.

ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස්, ඉතාලියේ ජනාධිපති සර්ජියෝ මැටරෙල්ලා සහ පින්ලන්ත ජනාධිපති ඇලෙක්සැන්ඩර් ස්ටබ් සහ ග්‍රීක අගමැති කිරියාකොස් මිට්සෝටකිස් ඇතුළු යුරෝපීය නායකයෝ සහභාගිවීමට අපේක්ෂාවෙන් සිටිනවා.

යුක්රේනය, ගාසා, සුඩානය, කොංගෝ ජනරජය ඇතුළු ඇතැම් ස්ථානවල යුද්ධ නතර නොවන නමුත් ඔලිම්පික් උලෙළ දැඩි රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාකාරකම් සඳහා අවස්ථාවක්වී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් අද දිනයේ ‘අවි බිම තබා ඔලිම්පික් කාලයේ සටන් විරාමයක්’ ඉල්ලා සිටිනු ඇති බවයි පැවසෙන්නේ.

සෙයින් නදියෙන් ආරම්භ වන සමාරම්භය අයිෆල් කුලුන ඉදිරිපිටට පාවී ගොස් එහිදී ඔලිම්පික් ගිනිසිළුව උත්සවාකාරයෙන් ආලෝකවත් කිරීමට සැලසුම් කොට තිබේ. ලොව පුරා ජනප්‍රිය ප්‍රංශ ගායක සෙලීන් ඩියෝන් මේ උත්සවයේ ගීත ගායනයට එක්වන අතර, ලේඩි ගාගා සහ අයා නකමුරා සමාරම්භක උත්සවයේදී ගීත ගැයීමට සූදානමින් සිටිනවා.

ලොව රටවල් 206කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 10,500 ක් මෙවර ඔලිම්පික් උලෙළට එක්ව සිටින අතර, එයින් බොහෝ දෙනෙක් අද පැවැත්වෙන සමාරම්භක උලෙළට එක්වීමේ සූදානමින් සිටිනවා.

ස්වේච්ඡා සේවකයන් 45,000ක් සහ ලොව ප්‍රමුඛ පෙළේ මාධ්‍යවේදිහු 20,000ක් පැරිස් ක්‍රීඩා මාධ්‍ය ආවරණයට එක්ව සිටිනවා.

දින 18ක් පුරා ක්‍රීඩා ඉසව් 32කට අදාළව රන් පදක්කම් 329ක් බෙදා දීමට මෙවර ඔලිම්පික් උලෙළේ කටයුතු සූදානම් කොට තිබෙනවා.

පැරිස් නුවර මේ වන විට දැඩි ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක අතර, ත්‍රස්ත තර්ජනයකට බියෙන් පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව පෙර නොවූවිරූ ආරක්ෂක මෙහෙයුමක් දියත් කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

World News