Latest News

“ලාපටා ලේඩීස්” ඉන්දියානු චිත්‍රපටය ඔස්කාර් උලෙළට

Published 6 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඔස්කාර් සම්මාන උලෙළ සිනමාවට සම්බන්ධ අය මෙන්ම සිනමා රසික රසිකාවියන් ද මහත් උනන්දුවක් දක්වන සිනමා උලෙළක් බව රහසක් නොවෙයි. 2025 වසරේ ඔස්කාර් සම්මාන උලෙළ ලබන මාර්තු මස 03 වැනි දින පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙවර මෙම උලෙළ පැවැත්වෙන්නේ 97 වැනි වතාවට යි.

ඔස්කාර් සම්මාන උලෙළේ දී පිරිනමනු ලබන ප්‍රධානම සම්මානයක් වන්නේ හොඳම ජාත්‍යන්තර වෘත්තාන්ත සිනමාපටය සම්මානයයි. ලෝකයේ විවිධ රටවල නිපදවනු ලබන ඉහළම පෙෙළ් චිත්‍රපට මෙම සම්මානය සඳහා ඉදිරිපත් කරනු ලබනවා. 2025 වසරේ මෙම සම්මානය සඳහා රටවල් 89ක චිත්‍රපට තරග වදින බව පසුගිය දිනවල වාර්තා වුණා.

අප අසල්වැසි ඉන්දියාව මෙවරත් මේ සඳහා සිනමාපටයක් ඉදිරිපත් කර තිබෙනවා. මේ එම චිත්‍රපටය ගැන කෙටි සටහනක්. ඉන්දියාව ඔස්කාර් උලෙළ සඳහා නිල වශයෙන් ඉදිරිපත් කර ඇත්තේ ‘ලාපටා ලේඩීස්’ (Laapataa Ladies) නමැති සිනමාපටය යි. එය Lost Ladies යන නමිනුත් හඳුන්වනු ලබනවා. පසුගිය වසරේ ප්‍රේක්ෂකයන් හමුවට පැමිණි ‘ලාපටා ලේඩීස්’ ප්‍රේක්‍ෂකයන්ගේ මෙන්ම සිනමා විචාරකයන්ගේ ද මහත් අගැයුමට ලක් වූ චිත්‍රපටයක්. කාන්තාවන් දෙදෙනකු මුහුණ දෙන සිදුවීම් පෙළක් ගැන කියැවෙන මෙම සිනමාපටය අධ්‍යක්‍ෂණය කර ඇත්තේත් කාන්තාවක් විසින්ම යි. ඇය තමයි කිරන් රාඕ.

කිරන් යනු ඉන්දියාවේ ජනප්‍රිය නළු ආමීර් ඛාන්ගේ දෙවැනි බිරිඳයි. නමුත් මේ වන විට ඔවුන් එකිනෙකාගෙන් වෙන් වෙලයි සිටින්නේ. එසේ වුවත් ඔවුන් දෙදෙනා වෘත්තීය කටයුතුවල දී මෙන්ම දරුවන්ගේ කටයුතුවල දී ද තවමත් සහයෝගයෙන් කටයුතු කරනවා. කිරන් අධ්‍යක්‍ෂණය කළ ‘ලාපටා ලේඩීස්’ චිත්‍රපටයටත් ආමීර් සම්බන්ධයි. නමුත් එ් රඟපෑම පැත්තෙන් නෙවෙයි. නිෂ්පාදන අංශයෙන්. ඔහුත් මෙම චිත්‍රපටය වෙනුවෙන් මුදල් යෙද වූ පාර්ශ්වයක්.

මෙම චිත්‍රපටයට පසුබිම් වන කතාවත් කිරන්ට ලබා දී තිබුණේ ආමීර් බව පැවසෙනවා. මෙම කතාව ආමීර්ට හමු වී තිබුණේ ඔහු ද විනිශ්චයකරුවකු ලෙස සහභාගි වූ තිර රචනා තරගයකදීයි. එයට සහභාගි වූ එක් තරුණියක් තමයි මෙහි මුල් තිර නාටකය ඉදිරිපත් කර තිබුණේ. ඇගේ නම බිප්ලාබ් ගෝස්වාමි. මෙම තිර නාටකය කියැවූ සැණින් ආමීර් තුළ ඊට කැමැත්තක් ඇති වී තිබූ අතර පසුව ඔහු එ් ගැන කිරන් සමඟ පවසා තිබුණා. ඇය ද එයට එකපයින් කැමති වූ බවයි සඳහන් වන්නේ.

”ලාපටා ලේඩීස්’ චිත්‍රපටයට පසුබිම් වන්නේ දුම්රියකින් ගමන් කරමින් සිටින අලූත විවාහ වූ මනාල ජෝඩු දෙකක් පිළිබඳ කතාවක්. ඔවුන් දුම්රියෙන් බැස යද්දී මනාලියන් දෙදෙනා මාරු වීමෙන් සිදුවන අකරතැබ්බක් ගැනයි මෙයින් කියැවෙන්නේ. එරට සම්ප්‍රදායට අනුව මේ මනාලියන් ගමන් කරන්නේ මුහුණු ආවරණය කරගෙනයි. ඒ වගේම මෙම ගමනේ අවසන් කොටස සිදු වන්නේ රාත්‍රී කාලයේයි. මේ පසුබිම තුළ තමයි මනාලියන් දෙදෙනා මාරු වන්නේ.

හාස්‍යය උපදවන ආකාරයේ කතාවක් වුවත් ඉන්දියාවේ ඇතැම් කටුක යථාර්ථයන් ගැන ‘ලාපටා ලේඩීස්’ තුළින් ව්‍යක්ත ආකාරයෙන් ඉදිරිපත් වෙනවා. එසේ වුවත්, මෙවැනි චිත්‍රපටයක් ඔස්කාර් වැනි උෙලළකට ඉදිරිපත් කිරීම ගැන යම් විවේචන එල්ල වී තිබෙනුත් දැක ගන්නට ලැබුණා. ඇතැමුන් මෙම සිනමාපටය දකින්නේ ඉන්දියාව පිළිබඳ අයහපත් ආකල්පයක් ඇති කරන නිර්මාණයක් හැටියට යි. කෙසේ නමුත් චිත්‍රපටයට එරෙහිව එල්ල වන මෙවැනි විවේචනවලට ආමීර් පිළිතුරු දී තිබෙන ආකාරයත් දැකගන්නට ලැබුණා.

ඔස්කාර් උෙලළට ඉන්දියාව නිල වශයෙන් යවන චිත්‍රපටය තෝරාගනු ලබන්නේ ඉන්දියානු චිත්‍රපට ෆෙඩරේෂණය විසිනුයි. මෙවර ‘ලාපටා ලේඩීස්’ තෝරාගෙන තිබුණේ චිත්‍රපට 29 ක් අතරින් බව සඳහන්. ඇනිමල්, ආට්ටම්, මයිදාන් වැනි චිත්‍රපට ද මෙම චිත්‍රපට 29 ට ඇතුළත්ව තිබූ බව පැවසෙනවා.

ඔස්කාර් උලෙළේ හොඳම ජාත්‍යන්තර වෘත්තාන්ත චිත්‍රපටය සම්මානය සඳහා විවිධ රටවලින් ඉදිරිපත් කරන චිත්‍රපට අතරින් අවසන් වටය සඳහා තෝරා ගනු ලබන්නේ චිත්‍රපට පහක් පමණයි. එසේ නිර්දේශ වන චිත්‍රපට පිළිබඳ නිවේදනය කිරීමට නියමිතව තිබෙන්නේ ජනවාරි 17 වැනි දිනයි. ‘ලාපටා ලේඩීස්’ මෙම අවසන් චිත්‍රපට පහට අයත් වනු ඇතිද යන්න සම්බන්ධයෙන් ඉන්දියානු සිනමාවට සම්බන්ධ අය මෙන්ම සිනමාලෝලීන් ද මහත් කුතුහලයෙන් සිටින ආකාරය දැකගත හැකියි.

World News