WhatsApp ගිණුම් හැකර්වරුන්ගේ ග්‍රහණයට ලක්වීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි ඉහළ යමින් තිබෙන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.
එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා පැවසුවේ, පසුගිය සති කිහිපය තුළ එවැනි ආකාරයේ පැමිණීලි 74ක් පමණ ලැබී ඇති බවයි.
හැකර්වරුන් WhatsApp කණ්ඩායම්වලට සම්බන්ධ වී පරිශීලකයන්ගේ ගිණුම් අධීක්ෂණය කරන අතර ගිණුම් හැක් කිරීමෙන් පසු හදිසි අවස්ථාවක් බව පවසා මුදල් බැර කරන ලෙස දුරකථන අංකවලට හදිසි පණිවිඩ යවන බවයි ඔහු පැවසුවේ.
ඒ අනුව ආගමික වැඩසටහන්, ත්‍යාග දිනා ගැනීම් හෝ අධ්‍යාපනික වැඩසටහන් සඳහා සහභාගී වීමේ වැනි අවස්ථාවන් සඳහන් කරමින් මොවුන් විසින් දුරකතන අංකය වෙත ලැබී ඇති රහස් කේතයක් ඉල්ලා සිටින බවයි සඳහන් වන්නේ.
අදාළ පුද්ගලයා එම කේතය ලබා දීම හරහා හැකර්කරුවන්ට ඔවුන්ගේ WhatsApp ගිණුම පාලනය කිරීමට හැකියාව ලැබෙනවා.
කෙසේ වෙතත් එවැනි පණිවිඩයක් ලැබුණහොත්, මුලින්ම එම ගිණුම අයිතිකරු අමතා තොරතුරු සත්‍ය දැයි තහවුරු කරගත යුතු බවත් WhatsApp ගිණුමක් හැක්වී ඇති බව දැනගතහොත් වහාම එම ගිණුම අයිති පුද්ගලයා එහි තිබු අනෙකුත් දුරකතන අංක අමතා ඒ පිළිබඳ දැනුවත් කළ යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.