කැනඩාවේ වෙසෙන ඇෆ්ගනිස්ථාන ස්වදේශිකයෙකු වන 17 හැවිරිදි නිලා ඉබ්රාහිමි (Nila Ibrahimi) නම් දැරිය, ඇම්ස්ටර්ඩෑම් හි පැවති උත්සවයකදී ජාත්‍යන්තර ළමා සාම ත්‍යාගයෙන් (International Children’s Peace Prize) පිදුම් ලබා තිබෙනවා.
ඒ, ඇය ඇෆ්ගනිස්ථාන ගැහැණු ළමයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම නිසාවෙන්.
2021 වසරේ දී බලය අල්ලා ගත් තලේබාන් සංවිධානය විසින් සකස් කරන ලද පීඩාකාරී නීති මගින් කාන්තාවන් නිශ්ශබ්ද කරන ඇෆ්ගනිස්ථානයේ “ගැහැණු ළමයින්ගේ අයිතීන් වෙනුවෙන් නිර්භීතව සටන් කිරීම” නිසාවෙන් ඉබ්රාහිමිට ගෞරව කිරීම මෙම සම්මානයේ අරමුණ බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
ඇය මෙලෙස සම්මාන ලැබීම, පරිසර ක්‍රියාකාරිනී Greta Thunberg සහ නොබෙල් සාම ත්‍යාගලාභී Malala Yousafzai වැන්නවුන් සිහිගන්වනවා.
රටවල් 47 ක නාමයෝජනා 165කින් ඇයව මෙලෙස තෝරාගෙන ඇති අතර ඇයගේ ත්‍යාගය ප්රදානය කර තිබුණේ, නොබෙල් ත්‍යාගලාභී යේමන මාධ්‍යවේදී Tawakcol Karman විසින්.
සම්මානය අතැතිව නිලා ඉබ්රාහිමි, ”ජාත්‍යන්තර ළමා සාම ත්‍යාගය ජයග්‍රහණය කිරීම යනු, ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ගේ සහ ගැහැණු ළමයින්ගේ හඬ ලොව පුරා දෝංකාර දීමක්…” යනුවෙන් අවධාරණය කර තිබුණා.
ඉබ්රාහිමි අන්තර්ජාලය තුළ වඩාත් කතාබහට ලක්වූයේ, පාසල් සිසුවියන් හට ප්‍රසිද්ධියේ ගායනා කිරීම තහනම් කිරීම අවලංගු කරන ලෙස කාබුල් හි අධ්‍යාපන බලධාරීන්ට බලපෑම් කිරීම නිසාවෙන්.
ඒ අනුව ඇය සිය ගායනා පටිගත කළ අතර ඇගේ සහෝදරයා එම වීඩියෝව සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමට කටයුතු කර තිබුණා.
එය #IAmMySong මැයෙන් දැවැන්ත ව්‍යාපාරයක් බවට පරිවර්තනය වූ අතර සති කිහිපයක් ඇතුළත අදාළ තහනම අවලංගු කිරීමට තරම් ප්‍රබල වීම විශේෂයි.
තලේබාන්වරු කාබුල් වෙත ගොස් බලය අල්ලා ගන්නා විට වයස අවුරුදු 15ක දැරියක් වුණු ඉබ්රාහිමි, ඇගේ පවුලේ අය සමඟ ඇෆ්ගනිස්ථානයෙන් පකිස්ථානයටත් පසුව කැනඩාවටත් පළා ගොස් තිබුණා.
නමුදු ඇය ඇෆ්ගනිස්ථාන ගැහැණු ළමයින් වෙනුවෙන් සිය හඬ අවදි කිරීම අත්නොහැරීම, ලෝකයේ ම අවධානය දිනාගැනීමට සමත්කම් දැක්වූවා.
ඒ අනුව ඇය “Her Story” හි සම-ආරම්භකයෙක් වූ අතර, එමඟින් ඇෆ්ගනිස්ථාන ගැහැණු ළමයින්ට ඔවුන්ගේ කථා බෙදා ගැනීමට වේදිකාවක් නිර්මාණය කළා.
“සෑම දිනකම මම ඇෆ්ගනිස්ථානයේ කිසිදු බලාපොරොත්තුවක් නොමැතිව ඉතිරි වූ ගැහැණු ළමයින් ගැන සිතමි.
නමුත් ඔවුන් ගැන කුමක් කිව හැකිද ?
කැනඩාවේදී, මම මගේ ජීවිතය ගැන තීරණ ගන්නා අතර මා මෙන් වීමට අපේක්ෂා කරන පුද්ගයින් වැළඳගනිමි..”
යනුවෙන් ඉබ්රාහිමි පසුගිය වසරේ මානව හිමිකම් සහ ප්රජාතන්ත්රවාදය සඳහා වූ ජිනීවා සමුළුව අමතමින් සඳහන් කර තිබුණා.
තලේබාන්වරු බලයට පත්වීමෙන් පසු ඔවුන් අවුරුදු 12ට වැඩි ගැහැණු ළමයින් සඳහා පාසල් වසා දමන ලද අතර යොවුන් වියේ ගැහැණු ළමයින්ට සහ කාන්තාවන්ට ඉගෙනීමට හෝ රැකියාවට යාම ද තහනම් කර තිබෙනවා. එමෙන්ම ඔවුනට නිවසින් පිටවිය හැක්කේ පිරිමි ඥාතියෙකු සමඟ පමණක් මැයෙන් සදාචාර නීති ද පමුණුවා තිබෙනවා.
ඒ අනුව ඔවුන්ට ප්‍රසිද්ධියේ කතා කළ නොහැකි අතර නුසුදුසු චෝදනා වළක්වා ගැනීම සඳහා ඔවුන්ගේ ඇස් යටපත් කරගෙන හිස සිට දෙපතුල දක්වා වසාගත යුතුයි.
ඔවුන්ට උද්‍යාන, ජිම් සහ වෙනත් පොදු පහසුකම් භාවිතා කිරීමට ද අවසර හිමි නොඅතර අවසරයකින් තොරව ගමන් කිරීමට ද හැකියාවක් නැහැ.