රාජ මාතාව, රජ මෙහෙසිය, රාජ කුමරිය, යන නාමයෝ ලොව බොහෝ සුලභ වෙති. එහෙත් ‘බුද්ධ මාතා’ යන උත්තම නාමය ලැබීම අතිශය දුර්ලභ වූවක්.
ආත්ම ගණනාවක් පෙරුම්පුරා දාන, ශීලාදී අනේකවිධ ආමිස, ප්‍රතිපත්ති පූජා සපුරා, පූර්ව කුසල මහිමයෙන්ම ඒ උතුම් පදවිය ලැබිය යුත්තකි.
පියුමතුරා නම් බුදුන් සමයෙහි එක් චුල්ල මාතාවක්, ඒ බුදුසසුනෙහි මහණව පර්ෂත් මැද, රාත්‍රඥයන් කෙරෙහි අග්‍රකොට, භික්ෂුණී ශාසනයේ ප්‍රධාන ස්ථානාන්තර ලැබ, රූ සපුවෙන් අග්‍රව, රජකුට අගමෙහෙසුන්ව බුදු කෙනකුන්ට මවු වූවාය. භික්ෂුණී ශාසනයට ගුරු වූවාය. සෘද්ධිමතියන් කෙරෙහි අග්‍ර වූවාය.
මෙබඳු ශ්‍රී විභූතියක් මට ද වී නම් යහපතැයි මධුර ආහාරයෙන් සැදැහැ සිතින් බුදුන්වහන්සේ ප්රමුඛ ලක්ෂ ගණන් ශ්‍රාවකයන් වහන්සේ වළඳවා, පිරිකර පුද දී මට ද මෙබඳු ස්ථානාන්තරයක් වී නම් යහපතැයි කළ පැතුමෙන් සුfදාවුන් රජුට අගමෙහෙසුන්ව සිදුහත් කුමරුවන්ට තම ලේ කිරි කොට පොවා පෝෂණය කොට පන්සියයක් බිසොවුන් සමග ගෞතම බුදුසසුනේ පැවිදි, උපසම්පදාව ලැබ, සෘද්ධි ප්රාතිහාර්ය ඇති අග්රරාත්රඥ මහා ප්‍රජාපතී මහ රහත් තෙරණින්වහන්සේ භික්ෂුණී ශාසනයෙහි ප්‍රධාන ස්ථානාන්තරය ලැබ ගෞතම බුද්ධ මාතාව යැයි ප්රකටව අමා මහා නිවන් දුටහ.
ඒ උත්තම ගෞතම බුද්ධ මාතා ජීවන කතා පුවත සිනමා වන්දනාවක් ලෙස යළි ජීවමාන වූයේ සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණයෙන්.
බුදු සිරිතෙහි හමුවන ‘ගෞතම බුද්ධ මාතා’ 2018 බිම්බා දේවිය හෙවත් යශෝධරා චිත්රපටයෙහි තිරනාටකය වෙනුවෙන් කරුණු එක්රැස් කරද්දී යශෝධරා හැර මට හමුවූ චරිත අතුරින්ම සිත පැලපදියම් වූයේ ප්‍රජාපතී ගෝතමියගේ චරිතයයි. එතුමිය වනාහි කුලුණු ගුණයෙන් පිරිපුන් සංකීර්ණ චරිතයක් යැයි මට ඒ දවස සිතිණි. එතුමිය පිළිබඳ චිත්‍රපටයක් නිර්මාණය කරන්නට සිදුවෙතැයි මම සිහිනෙන් හෝ නොසිතුවෙමි. තිලංග සුමතිපාල මහතා නිසා දැන් ඒ නොදුටු සිහිනය සැබෑ වුණා යැයි සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සඳහන් කළා.
‘ගෞතම බුද්ධ මාතා’ සිනමා නිර්මාණයට මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ඉන්දීය නළු නිළියන් සිව්දෙනකු එකතු කරගෙන තිබෙනවා. ඒ අනුව ප්‍රජාපතී ලෙසින් පාල්ගුණී බන්නා ද මහාමායා ලෙසින් අදිති සිං ද සිද්ධාර්ථ ලෙසින් කුෂාර් චිබ්බර් ද යශෝධරා ලෙසින් හිමංෂි ජෛන් ද රංගනයෙන් එකතු වෙනවා. මීට අමතරව සෙසු චරිත සඳහා දිල්හානි ඒකනායක, ධනංජය සිරිවර්ධන, අනුරාධ මල්ලවආරච්චි, සම්පත් ජයවීර, ඉඳුවර සූරියබණ්ඩාර, නෙතු ගම්ලත්, නිලූෂි පවන්යා, ගෙවින් අභිෂේක්, උදයන්ති කුලතුංග, සූර්යා දයාරුවන්, ප්‍රියංකා සමරවීර, නිරෝෂන් විජේසිංහ, ආශා එදිරිසිංහ, චානුක ප්රබුද්ධ, මිෂෙල් දිල්හාරා, හිරාන් යට්ටෝවිට, කිම් ඩක් ජෝ, ජයනි වීරසිංහ, කේ. ඒ මිල්ටන් පෙරේරා රංගන දායකත්වය ලබාදෙනවා.
තිලංග සුමතිපාල නිෂ්පාදන දායකත්වය ලබාදෙන ගෞතම බුද්ධමාතා හි කැමරා අධ්‍යක්ෂණය චන්න දේශප්‍රියගෙනි.
සංස්කරණය තිස්ස සුරේන්ද්‍ර, සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහ, කලා අධ්‍යක්ෂණය මංජුල අයගම, නාද සැලසුම්කරණය සසික රුවන් මාරසිංහ, සහාය අධ්‍යක්ෂණය විමල් දේශප්‍රිය, නිෂ්පාදන කළමනාකරණය නිමල් විජේසිරි, නර්තන අධ්‍යක්ෂණය චන්දන වික්‍රමසිංහ, වස්ත්රාභරණ නිර්මාණය රමේෂා ඔෂිනි, කේෂ රචනා විලාස හරූන් ෂයිඩින්, ගායනය කාංචනා අනුරාධි, ආදිත්‍යා වැලිවත්ත, අංජලී හේරත්, සංචලි රත්නායක, තනුර මධුගීත, වර්ණ සංයෝජනයෙන් අසංක වික්‍රමසිරි, අංග රචනය ප්‍රියන්ත දිසානායක, දෘශ්‍ය ප්‍රයෝග සමින්ද වතවනවිතානගේ සහ බුද්ධික විජේරත්නගෙනි. ගෞතම බුද්ධ මාතා මේ දිනවල ඊ. ඒ. පී. මණ්ඩලය ඇතුළු රට පුරා සිනමාහල් රැසක තිරගත වනවා.