සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීම සඳහා පැමිණි වෙඩික්කරුවන් දෙදෙනා හඳුනාගෙන තිබෙන බව පොලීසිය පවසනවා.
එමෙන්ම අදාළ ඝාතනයට සම්බන්ධ කාන්තාවක් ඇතුළු තවත් පුද්ගලයන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි පොලිස් ආරංචි මාර්ග පැවසුවේ.
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත අතුරුගිරියේදී වෙඩි තබා ඝාතනය කෙරුණේ ඉකුත් ජූලි 8 වනදායි.
ඒ අනුව විමර්ශන සිදුකළ පොලීසිය සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ජූලි 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
අනතුරුව දීර්ඝ විමර්ශනයක් සිදුකළ පොලීසිය ඝාතනයට සම්බන්ධ කාන්තාවක් ඇතුළු තවත් සැකකරුවන් කිහිපදෙනෙකු පිළිබඳව අනාවරණ කරගෙන තිබෙනවා.
වැඩිදුර පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, ඝාතනයෙන් අනතුරුව වෙඩික්කරුවන්ට පළායෑම වෙනුවෙන්ම විශේෂ බස් රථයක් සූදානම් කර තිබී ඇති අතර ඔවුන් එමඟින් පළාගොස් ඇති බවයි.
වෙඩික්කරුවන් දෙදෙනා හිටපු ආරක්ෂක අංශ සාමාජිකයන් බවද පොලීසිය අනාවරණ කරගෙන තිබෙනවා.
ඔවුන් දෙදෙනා ඇතුළු පිරිස මාස 6ක කාලයක් සඳහා රුපියල් ලක්ෂ 6ක මුදලක් ලබාදී අතුරුගිරිය ප්‍රදේශයෙන් කුලී නිවසක්ද ලබාගෙන සිට ඇති බවයි පොලිස් ආරංචි මාර්ග පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ සෘජු උපදෙස් මත සිදුකෙරෙනවා.