සංචාරක නවසීලන්තය සමඟ පැවති පළමු 20-20 තරගයෙන් සුපිරි ජයක් වාර්තා කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (09) රාත්‍රියේ සමත් වුණා.
ඒ නවසීලන්තය පරාජය කරමින් ශ්‍රී ලංකාව මෙම තරගය ජයගත්තේ කඩුලු හතරකින්.
රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී තරගයේ කාසියේ වාසිය දිනු නවසීලන්ත නායකයා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.
එහිදී නවසිලන්තයට පන්දුවාර 19යි පන්දු 03කදී සියලුදෙනා දැවි රැස්කර ගත හැකි වූයේ ලකුණු 135ක් පමණයි.
අනතුරුව ලකුණු 136ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාව,19 වන පන්දුවාරයේ අවසන් පන්දුවට දුනිත් වෙල්ලාලගේ එල්ල කළ දැවැන්ත හයේ පහරත් සමඟ අදාළ ඉලක්කය පදුකර යමින් තරගය ජය ගත්තා.
ශ්‍රී ලංකා ජයග්‍රාහි ඉනිම වෙනුවෙන් නායක චරිත් අසලංක නොදැවී ලකුණු 35ක් රැස් කළා.
මෙම ජයග්‍රහණය නවසීලන්තය ඉදිරියේ ශ්‍රී ලංකාව වාර්තා කළ 10 වන විස්සයි විස්ස තරග ජයග්‍රහණය වනවා.
මේ අතර ඊයේ ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟ තරග දෙකකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තරග 01ට බිංදුවක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා.
මේ අතර ඊයේ පැවති තරගයේ දී ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ලකුණු 23ක් රැස්කළ කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම විස්සයි විස්ස පිටියේ වැඩිම ලකුණු රැසකළ පිතිකරු බවට පත් වුණා.
මීට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම විස්සයි විස්ස ලකුණු සංඛ්‍යාවක් රැස්කරගෙන සිටි පිතිකරුවා බවට හිටපු ක්‍රීඩක තිලකරත්ත ඩිල්ෂාන් පත්ව සිටියේ ලකුණු 1,889ක් රැස්කරගනිමින්.
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන විස්සයි විස්ස තරගය අද (10) දඹුල්ලේ දී පැවැත්වෙනවා.