ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා සභිකයන් තෝරාපත්කර ගැනීම සඳහා ඊයේ (26) පැවති ජන්ද විමසීමෙන් ජාතික ජනබලවේගය කොට්ඨාශ 15 ක බලය හිමිකරගෙන තිබෙනවා.
ඔවුන් ලබාගත් සමස්ථ ඡන්ද සංඛ්‍යාව 17,295 ක්.
ඉන් කොට්ඨාශ 2 ක බලය සමගි ජනබලවේගය විසින් හිමිකරගෙන ඇති බවයි ගාල්ල තේරිභාර නිලධාරී ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතා පැවසුවේ.
ඔවුන් ලබාගත් සමස්ථ ඡන්ද සංඛ්‍යාව වන්නේ 7,924 ක්.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ධුර තුනක් දිනා ගැනීමට හැකියාව ලැබී ඇති අතර එහිදී ඔවුන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව 3,594ක්.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මුළු සභිකයන් සංඛ්‍යාව 28ක් වුවත් මෙවර ප්‍රතිඵල අනුව සභිකයන් 30 ක් තේරීපත්ව ඇති බවද සහකාර මැතිවරණ කොමසාරීස්වරයා සඳහන් කළා.
ජාතික ජනබලවේගයේ කණ්ඩායම් නායක නිශාන්ත පෙරේරා, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දකුණු සභා මන්ත්‍රිවරයෙකු මෙන්ම හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙක් වන අතර එම පක්ෂයෙන් තේරී පත්ව ඇති අනෙක් සභිකයන් 14 දෙනාම නවකයන් වනවා.
සමගි ජනබලවේගය දිනාගෙන ඇත්තේ පිටුවල හා අවිත්තාව යන කොට්ඨාශ දෙකයි.
එම සභිකයන් දෙදෙනාද ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභිකයන් දෙදෙනෙක් වනවා.
මෙවර මැතිවරණය සඳහා ඡන්දදායකයන් 55,643ක් ලියාපදිංචි වී සිටි අතර පිළිගත් දේශපාලන පක්ෂ අටක් සහ ස්වාධීන කණ්ඩායමක් තරග වැදුණා.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මුළු කොට්ඨාශ ගණන 17 ක් වනවා.
සභාවේ මුළු සභිකයන් ගණන 28 ක් වන අතර මින් 11 දෙනකු සමානුපාතික ක්‍රමය යටතේ තෝරා ගැනීමට නියමිතයි.