Latest News

SL Presidential Election 2024: නව වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම ඇරඹේ

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලාංකීක ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ජනාධිපතිවරණ ඡන්ද විමසීම අදයි.

ඒ, අනුව අද (21) පෙරවරු 8:00 සිට පස්වරු 4:00 දක්වා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී මනාපය පළකළ හැකියි.

වැඩිම අපේක්ෂකයන් පිරිසක් තරග බිමට පිවිසි ජනාධිපතිවරණය ලෙස මෙවර මැතිවරණය ඉතිහාසයට එක්වනු ඇති.

ඒ, මෙවර ජනාධිපතිවරණ මැතිවරණයට අපේක්ෂකයන් 38 දෙනෙකු ඉදිරිපත්වීම හේතුවෙන්.

පිළිගත් දේශපාලන පක්ෂ 22ක්, වෙනත් දේශපාලන පක්ෂයක් සහ ස්වාධීන අපේක්ෂකයන් 16 දෙනෙකු මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කළ අතර ස්වාධීන ජනාධිපති අපේක්‍ෂකයෙකු වූ අයිඩෘස් මොහමදු ඉල්යාස් මහතා පසුගිය අගෝස්තු මස 22 වැනිදා අභාවප්‍රාප්ත වුණා.

ඒ අනුව සෙසු අපේක්ෂකයින් 38 දෙනා අතරින් අභිනව ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමට ඡන්දදායකයන් එක්කෝටි හැත්තෑඑක් ලක්ෂයකට වැඩි පිරිසක් (171,40,354) සුදුසුකම් ලබා ඇති බව සඳහන්.

මනාපය පළකිරීමේ කටයුතු පස්වරු 4.00ට පමණ අවසන් කිරීමට නියමිතයි.

අනතුරුව පරිශ්‍ර 49කදී ගණන් කිරීමේ මධ්‍යස්ථාන 1,713කදී ඡන්ද ගණන් කිරීම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

තැපැල් ඡන්දය ගණනය කිරීම අද (21) පස්වරු 4.15ට පමණ ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

මෙවර මැතිවරණය සඳහා තැපැල් ඡන්දය භාවිත කිරීමට පසුගිය 4, 5, 11 සහ 12 යන දිනයන් ලබා දී තිබු අතර ඒ සඳහා රාජ්‍ය සේවකයින් ලක්ෂ 07කට ආසන්න පිරිසක් තැපැල් ඡන්දය භාවිත කර තිබුණා.

එමෙන්ම ජනාධිපතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය අද (21) රාත්‍රි 11.00 පමණ වනවිට නිකුත් කළ හැකි බවට විශ්වාස කරන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ ආරංචි මාර්ග සඳහන් කළේ.

ඒ අනුව ප්‍රථමයෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය බොහෝ විට නිකුත් කිරීමට හැකි වනු ඇති බව සඳහන්.

ඡන්දය ගණනය කිරීම රාජ්‍ය සේවකයින් අතින් සිදු කිරීමට නියමිත අතර ඡන්ද ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීමට විශේෂ වැඩපිළිවෙළක් ද යොදා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මෙම සියළු කටයුතු දැඩි පොලිස් ආරක්ෂාව යටතේ සිදුකෙරෙනු ඇති.

මෙවර ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵල විශේෂ ප්‍රවෘත්ති ප්‍රකාශයන් ඔබට Radio WESL ඔස්සේ ගෙන ඒමට අප සූදානම්.

World News