නුවරඑළිය ප්‍රදේශයේ ලවර්ස් ලීප් දිය ඇල්ල නැරඹීමට ගිය 52 හැවිරිදි විදේශීය සංචාරකයෙකු, එහි ඉහළ කොටසේ පිහිටි අවදානම් සහිත ගලක් මත සිට සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කිරීමේදී ප්‍රපාතයකට ඇද වැටී බරපතල තුවාල ලබා තිබේ.
අද (27) උදෑසන 11.30 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, තුවාල ලැබූ සංචාරකයා මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.
සිය බිරිඳ සමඟ දිය ඇල්ල නැරඹීමට පැමිණි ඔහු, ඉහළ ගලක් මත සිට ඡායාරූපයක් ගැනීමට උත්සාහ කිරීමේදී ලිස්සා පහළට වැටී ඇත.
සිද්ධිය පිළිබඳව ප්‍රදේශවාසීන් විසින් පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව, පොලිස් නිලධාරීන් සහ නුවරඑළිය මහා නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් එක්ව දැඩි වෙහෙසක් දරා තුවාලකරු පහළට රැගෙනවිත් ඇත.
අනතුරෙන් ඔහුගේ පාදයකට බරපතල තුවාල සිදුව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.