කොළඹ වාණිජ මහාධිකරණය විසින් අද (27) දින දුෂ්‍යන්ත් වීරමන් මහතාට එරෙහිව “නෙලුම් විලෙන් පැන” ගීතය ගායනා කිරීම වළක්වමින් වාරණ ආඥාවක් නිකුත් කර ඇත.
මෙම නඩුව අදාළ ගීතයේ තනු නිර්මාණය සහ සංගීත සංකලනය සිදු කළ රවිහන්ස වැටකේපොත මහතා විසින් ගොනු කර තිබුණි.
අද නඩුව කැඳවූ අවස්ථාවේ ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු අමාලි රණවීර මහත්මිය විසින් මෙම වාරණ නියෝගය නිකුත් කර තිබේ.
එමෙන්ම, පැමිණිලිකරුගේ ලිඛිත අවසරයකින් තොරව අදාළ ගීතය වෙනත් පාර්ශවයන් වෙත ලබාදීමද අධිකරණය විසින් තහනම් කර ඇත.
පැමිණිලිකරු පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් පෙන්වා දී ඇත්තේ, බුද්ධිමය දේපල හිමිකම් උල්ලංඝනය කිරීම කිසිදු අයෙකුට ඉඩ නොදෙන අතර, අවසරයකින් තොරව ගීතය ගායනා කිරීම එම හිමිකම් උල්ලංඝනයක් බවයි.
මෙම නඩුව නැවත අප්‍රේල් 10 වැනිදා කැඳවීමට නියමිතය.