2024 ඔක්තෝබර් මාසයේ සමාජ මාධ්‍යයේ ඊශ්‍රායල ධජයට හානි කරන ආකාරයේ පළ කිරීමක් සිදු කළේ යැයි චෝදනා කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස නවයකට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයට පත් කළ මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් රිෆායි මොහොමඩ් සුහෙල් නැමති තරුණයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් එවක දෙහිවල පොලිසියේ ස්ථානාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සමාව අයැද සිටියා.
එවක දෙහිවල පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ එච්.එම්.ඒ.බී. හේරත් මහතා ප්‍රකාශ කළේ, අදාළ අත්අඩංගුවට ගැනීම හේතුවෙන් තරුණයාගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව තමන් පිළිගන්නා බවයි.
ඒ වෙනුවෙන් රුපියල් මිලියන දෙකක වන්දියක් ගෙවීමට සූදානම් බවද ඔහු විවෘත අධිකරණයේදී දැනුම් දුන්නා. අනතුරුව එම මුදල විවෘත අධිකරණයේදී තරුණයාට භාර දෙනු ලැබුවා.
මෙම කරුණු අද ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා, ජනක් ද සිල්වා මහතා සහ සම්පත් විජේරත්න මහතා යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී ඉදිරිපත් වුණා.
පෙත්සම්කරු පාර්ශ්වය කියා සිටියේ, වැරදි කරුණු අධිකරණයට ඉදිරිපත් කර තම සේවාදායකයා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දිගු කාලයක් රිමාන්ඩ් භාරයට පත් කළ බවයි.
පසුව නීතිපති උපදෙස් අනුව ඔහුට එරෙහිව නඩු පවත්වාගෙන යාමට කරුණු නොමැති බව තීරණය වීමෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය විසින් තරුණයා නිදහස් කර තිබුණා.
අදාළ පාර්ශව දෙපාර්ශවයම එකඟ වූ සමථයට අනුව නඩුව අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළා.