රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තැබීම අභියෝගයට ලක් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන සැප්තැම්බර් 25 වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක මහතා විසින් මෙම පෙත්සම ගොනු කර තිබෙනවා.
පෙත්සම අද අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා, විනිසුරු ජනක් ද සිල්වා මහතා සහ විනිසුරු සම්පත් විජේරත්න මහතා යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී පෙත්සම්කරු සඳහන් කළේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගත හැක්කේ රටේ ඒකීයභාවය හෝ භෞමික අඛණ්ඩතාවයට හානි කරන හෝ නීත්‍යානුකූල ආණ්ඩුව පෙරළීමට සම්බන්ධ පුද්ගලයින්ට පමණක් බවයි.
එහෙත් සුරේෂ් සලේ මහතාට එවැනි චෝදනා නොමැති අතර, ඔහුට එරෙහිව ඇති සාක්ෂි මෙතෙක් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවත් පෙත්සම්කරු පෙන්වා දුන්නා.
ඒ අනුව, ඔහුට එරෙහි චෝදනා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කරන ලෙසත්, ප්‍රමාණවත් චෝදනා නොමැති නම් සුදුසු නියෝගයක් ලබා දෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.