ජනතාවාදී හා ජනහිතකාමී රටක් ගොඩනැගීම සඳහා සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකට එක්ව කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
ඔහු සඳහන් කළේ, පිටපිට අවස්ථා ගණනාවක් වැරදි තීන්දු ගත් යුගයක එම තීන්දුවල ප්‍රතිඵල ලක්ෂ 220 ජනතාවට භාරවී ඇති බවත්, මෙවැනි අවස්ථාවක දක්ෂිණාංශික හෝ වාමාංශික ලෙස නොව පොදු ජන කඳවුර ශක්තිමත් කළ යුතු බවයි.
විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේ කොළඹදී පැවති දිවංගත අමාත්‍ය ගාමිණී දිසානායක මහතාගේ 84 වැනි ජන්ම දිනය සැමරීමේ අවස්ථාවට එක්වෙමිනි.
ගාමිණී දිසානායක මහතා අපේක්ෂා කළ පරිදි කෙත්වතු සරුසාර කරන, ආහාර සුරක්ෂිතභාවය තහවුරු කරන සහ ඉඩම් නොමැති ජනතාවට ඉඩම් ලබාදෙන ශක්තිමත් පොදු ජන කඳවුරක් ගොඩනැගිය යුතු බවත්, එවැනි එකතුවක් සඳහා සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය එක්ව කටයුතු කිරීමට සූදානම් බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.