මැද පෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මෙරට තුළ උද්ගතව ඇති ඉන්ධන හිඟයට පිළියමක් ලෙස, අපනයනකරුවන් සඳහා ප්‍රමුඛතා පදනම මත ඉන්ධන ලබාදීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සභාපති මංගල විජේසිංහ මහතා පවසයි.
රජයේ මැදිහත්වීම යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ මෙරට ආර්ථිකයේ ප්‍රධාන අංශයක් වන අපනයන ක්ෂේත්‍රය අඛණ්ඩව පවත්වාගෙන යාමයි.
ඒ අනුව ඇඟලුම්, තේ, කුළුබඩු ඇතුළු ප්‍රධාන අපනයන ක්ෂේත්‍රවල නියුතු අපනයනකරුවන් 4,500කට අධික පිරිසකට තම කර්මාන්ත කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන තොග කිසිදු ප්‍රමාදයකින් තොරව ලබා ගැනීමට ප්‍රමුඛතාව ලබාදෙන බව සඳහන් වේ.
මෙම වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින් සභාපතිවරයා කියා සිටියේ,
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය මේ වන විටත් අපනයනකරුවන්ගෙන් අවශ්‍ය දත්ත රැස් කරමින් සිටින බවයි.
“ඔබ මෙතෙක් ඔබේ තොරතුරු ඉදිරිපත් කර නොමැති නම්, වහාම එම තොරතුරු ලබා දීමට කටයුතු කරන්න” යැයි සභාපතිවරයා අපනයනකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.
ගෝලීය වශයෙන් ඉන්ධන මිල ඉහළ යමින් පවතින අවස්ථාවක, මෙරට අපනයනකරුවන්ගේ ජාත්‍යන්තර තරඟකාරිත්වය පවත්වා ගැනීම සඳහා මෙම වැඩපිළිවෙළ තීරණාත්මක වනු ඇති බවද ඔහු අවධාරණය කළේය.
එමෙන්ම, ඉන්ධන බෙදාහැරීම කඩිනම් කිරීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මැදිහත්කරු ලෙස ක්‍රියාකරමින් සිටින බව ද සඳහන් වේ.