ඉරානයේ ආරක්ෂක කටයුතු සම්බන්ධ ප්‍රධානීන්ගෙන් එක් අයෙකු වන අලි ලාරජානි ඝාතනයට ලක්ව ඇති බව ටෙහෙරානය තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එමෙන්ම ඉරාන අභ්‍යන්තර Basij මිලීෂියා බලකායේ අණදෙන නිලධාරී ගොලම්රේසා සුලෙයිමාන් ද මියගොස් ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය තහවුරු කර තිබෙනවා.
ඉරානයේ අර්ධ රාජ්‍ය පුවත් සේවයක් වන Mehr News Agency නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ, එරට ජාතික ආරක්ෂක මණ්ඩලය විසින් එහි ලේකම්වරයා වූ ලාරිජානිගේ මරණය නිල වශයෙන් තහවුරු කර ඇති බවයි.
“ඉරානයේ සහ ඉස්ලාමීය විප්ලවයේ අභිවෘද්ධිය වෙනුවෙන් දිගුකාලයක් සේවය කළ ඔහු, අවසානයේ සේවා පෙරමුණේදී ජීවිතය අහිමි කළේය” යනුවෙන් එම ප්‍රකාශයේ සඳහන් වන බව මෙහර් පුවත් සේවය වාර්තා කර තිබෙනවා.
මෙම තහවුරු කිරීම සිදු වූයේ ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය විසින් සුලෙයිමාන්ගේ මරණයද නිල වශයෙන් ප්‍රකාශ කිරීමෙන් පසුවයි.
පෙබරවාරි 28 දින ආරම්භ වූ ගැටුම් අතරතුර, ඉරානයේ හිටපු උත්තරීතර නායක Ali Khamenei ඝාතනයට ලක්වීමෙන් පසු, අමෙරිකානු–ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් මියගිය ඉහළම තනතුරක් දරන ඉරාන නිලධාරියා ලෙස ලාරිජානි සැලකේ.
ලාරිජානි අවසන් වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියේ ටෙහෙරානයේ පැවති අල්-කුද්ස් දින රැලියකට, ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සමඟ එක්ව සහභාගී වෙමින්.
වසර ගණනාවක් පුරා ඉරාන දේශපාලනයේ ප්‍රභල චරිතයක් වූ ඔහු, බටහිර රටවල් සමඟ පැවති න්‍යෂ්ටික සාකච්ඡා සඳහා නායකත්වය ද ලබාදී ඇති අතර, ඉරාන පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙසද කලක් සේවය කර තිබෙනවා.