මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ගෝලීය ඉන්ධන මිල ඉහළ යාම සහ සැපයුම් මාර්ගවලට බාධා ඇතිවීම නිසා ශ්‍රී ලංකාව තුළ ඉන්ධන සීමාකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවමින් දුම්රිය සේවාව කඩිනමින් ශක්තිමත් කළ යුතු බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කළේ මෙම තත්ත්වය පිළිබඳව පෙරදැක්මකින් යුතුව පසුගිය 04 වැනිදාම දුම්රිය දෙපාර්තමේන්තුව දැනුවත් කළ බවයි.
ඉන්ධන සීමා ඇති වුවහොත් පෞද්ගලික වාහන භාවිතය අඩුවී කාර්යාල සේවකයින්, පාසල් සිසුන් සහ දෛනික ගමනාගමනය කරන ජනතාව වැඩි වශයෙන් පොදු ප්‍රවාහන සේවාව වෙත යොමු වන බවත්, විශේෂයෙන් නාගරික සහ තදාසන්න ප්‍රදේශවල ගමනාගමන අවශ්‍යතා වැඩි වීමත් සමග පවතින ප්‍රවාහන පද්ධතියට දැඩි පීඩනයක් ඇතිවිය හැකි බවත් එම සංගමය පෙන්වා දෙයි.
ඒ අනුව ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීම සඳහා දුම්රිය සේවාව පුළුල් කර ශක්තිමත් කිරීම අත්‍යාවශ්‍ය බව සඳහන් කරමින්, ඒ සඳහා යෝජනා මාලාවක් ජනාධිපතිවරයා වෙත යොමු කිරීමටද දුම්රිය ස්ථානාධිපති සංගමය පියවර ගෙන තිබෙනවා.