Latest News

මැදපෙරදිග උණුසුම හමුවේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම ගැන ජනපතිගේ විශේෂ සාකච්ඡාවක්

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මැද පෙරදිග කලාපයේ උද්ගත වී ඇති යුදමය තත්ත්වය හමුවේ අත්‍යාවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමේදී ඇතිවිය හැකි ගැටලු පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
මෙම සාකච්ඡාවට අමාත්‍යංශ ලේකම්වරුන් සහ ආයතන ප්‍රධානීන් රැසක් එක්ව සිටි අතර සෞඛ්‍ය, අධ්‍යාපන, කර්මාන්ත, කෘෂිකර්මාන්ත, ධීවර ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක ක්‍රියාකාරීත්වය පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි. එමෙන්ම එක් එක් ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය ඉන්ධන අවශ්‍යතා සහ අත්‍යාවශ්‍ය සැපයුම් පිළිබඳව අමාත්‍යංශ ලේකම්වරුන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ සෞඛ්‍ය වැනි අත්‍යාවශ්‍ය ක්ෂේත්‍ර සඳහා ප්‍රදේශීය මට්ටමින් ඉන්ධන සංචිත පවත්වාගෙන යාමේ හැකියාව පිළිබඳ වැඩිදුර සොයා බලන ලෙසයි. එසේම අවශ්‍ය අවස්ථාවලදී නිවසේ සිට රාජකාරි කිරීමේ ක්‍රමවේද ක්‍රියාත්මක කළ හැකිද යන්න පිළිබඳව වාර්තාවක් සකස් කරන ලෙසද ලේකම්වරුන්ට උපදෙස් ලබා දුන්නේය.
ඉදිරියේදී මතු විය හැකි තත්ත්වයන් පිළිබඳ නිශ්චිතව පුරෝකථනය කළ නොහැකි බැවින් ඕනෑම අභියෝගයකට මුහුණ දීම සඳහා පෙර සූදානමක අවශ්‍යතාවය ඇති බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. එමෙන්ම දැනට ක්‍රියාත්මක ඩිජිටල් කේත ක්‍රමය තවදුරටත් විධිමත් කර අඩුපාඩු කඩිනමින් නිවැරදි කිරීමට පියවර ගන්නා ලෙසද උපදෙස් ලබා දුන්නේය.
නව තත්ත්වයන් පිළිබඳ නිරන්තර අධීක්ෂණයෙන් සිටිය යුතු බවත්, එක් එක් අංශ වෙනුවෙන් වෙන් වෙන්ව තීරණ ගැනීම වෙනුවට සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය එක්ව ක්‍රියාකර විකල්ප ක්‍රමවේද හඳුනාගෙන ක්‍රියාත්මක කළ යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
මෙම සාකච්ඡාවට විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක, හාන්ස් විජේසූරිය ඇතුළු අමාත්‍යංශ ලේකම්වරුන් සහ ආයතන ප්‍රධානීන් රැසක් සහභාගී වූහ.

World News

Send your contact Details Today