අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවේ, මාධ්‍ය තුළ ලබා දෙන තොරතුරු පිළිබඳ විශ්වාසය අඩු වීම සමාජයට ඉතා භයානක වන බවයි. ඒ නිසා සමාජ මාධ්‍ය හරහා තොරතුරු බෙදා හැරීමට පෙර ඒවා සත්‍යද, අසත්‍යද යන්න පිළිබඳ සැලකිලිමත් විය යුතු බවයි අග්‍රාමාත්‍යතුමිය අවධාරණය කළේය.
කොළඹ ආනන්ද විද්‍යාලයේ “සංදේශය” මාධ්‍ය සම්මාන උලෙළ මාර්තු 14 දින පැවති අතර, ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ට සදාචාරය, වගකීම සහ විවේචනාත්මක චින්තනය ප්‍රවර්ධනය කරමින් ජාතික මාධ්‍ය කතිකාවතට සක්‍රීයව දායක වීමට අවස්ථාව ලබාදීමේ අරමුණින් මෙම උලෙළ සංවිධානය කරන ලදී.
අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළේ, අද අපි ජීවත් වෙන්නේ තොරතුරු තාක්ෂණය සහ මාධ්‍ය වේගයෙන් වෙනස් වන යුගයකි. මේ වෙනස්වීම් සමඟ අපට අවස්ථා බොහෝද, අභියෝග ගණනාවක්ද එන බවයි. තොරතුරු, දත්ත සහ දැනුම ප්‍රවේශය අද හැමෝටම ලැබිය හැකි අතර, පුරවැසියන්ට මාධ්‍ය භාවිතයෙන් සක්‍රීයව දායක විය හැකිය.
එහිදී තිබෙන භයානකකම තමයි, තොරතුරු බෙදා හැරීමේ වගකීම සහ විශ්වාසනීය බව සලකා බැලීමේ අභියෝග. විශ්වාසනීය තොරතුරු නොමැතිව, වැරදි තොරතුරු හෝ විකෘති තොරතුරු පුරවැසියන් අතර බෙදා හැරීමෙන් සමාජයේ විශ්වාසය හා සුරක්ෂිතභාවය අර්බුදයකට පත් විය හැක.
අග්‍රාමාත්‍යතුමිය වැඩි දුරටත් පැවසුවේ, නායකයන් සහ පුරවැසියන් පිළිබඳ විශ්වාසය වර්ධනය කිරීම, විශ්වාසනීය තොරතුරු ලබා ගැනීමේ ක්‍රම පිළිබඳ අවබෝධය ඇති කිරීම සමාජයේ තිරසාරභාවය සහ සුරක්ෂිතභාවය රැක ගැනීමට අත්‍යවශ්‍ය බවයි.
අද දින මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන ඔබට විශාල වගකීමක් තියෙන අතර, ඔබ ලබා දෙන තොරතුරු සත්‍යද යන්න තහවුරු කර, විශ්වාසනීය බව රැක ගත යුතුය. ඩිජිටල් සහ මාධ්‍ය සාක්ෂරතාවය ශිෂ්‍ය පරපුරට ඉගෙන ගැනීමට අවස්ථා සලසා දීමත් අත්‍යවශ්‍ය දෙයක් ලෙස අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළේය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් අනිල් ජාසිංහ, ආනන්ද විද්‍යාලයීය විදුහල්පති ඩී.එම්. එල්. පී. දිසානායක, මාධ්‍යවේදීන්, ගුරුවරුන් සහ පාසල් සිසුන් විශාල පිරිසක් සහභාගී විය.