අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කරන ලද ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්, අමෙරිකාව සමග සහයෝගයෙන් කටයුතු කරන සමාගම්වලට අයත් තෙල් සහ බලශක්ති යටිතල පහසුකම් “වහාම විනාශ කර අළු දූවිලි බවට පත් කරන බවට” ඉරානය හමුදාව අනතුරු අඟවා තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.
මෙම දැඩි ප්‍රකාශය සිදුකර ඇත්තේ, අමෙරිකානු හමුදා විසින් ඉරානයේ ප්‍රධාන තෙල් අපනයන මධ්‍යස්ථානයක් වන කාර්ග් දූපත හි පිහිටි හමුදා ඉලක්ක සම්පූර්ණයෙන්ම විනාශ කළ බවට ට්‍රම්ප් කළ ප්‍රකාශයෙන් අනතුරුව බවයි වාර්තා වන්නේ.
එම ප්‍රහාරය පිළිබඳ අදහස් දක්වමින් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කළේ, දැනට තමා ඉරානයේ තෙල් යටිතල පහසුකම් සම්පූර්ණයෙන් විනාශ කිරීමෙන් වැළකී සිටින බවයි.
කෙසේ වෙතත්, හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකාවල නිදහස් හා ආරක්ෂිත ගමනාගමනයට ඉරානය හෝ වෙනත් පාර්ශ්වයක් බාධා කරන්නේ නම්, එම තීරණය වහාම වෙනස් කර දැඩි පියවර ගන්නා බවටද ජනාධිපතිවරයා අනතුරු අඟවා තිබේ.
මෙම තත්ත්වයත් සමඟ මධ්‍යපෙරදිග කලාපයේ උණුසුම්කාරී තත්ත්වය තවදුරටත් උග්‍රවෙමින් පවතින බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.