මැද පෙරදිග අර්බුදය හේතුවෙන් ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ගුවන් යානා ඉන්ධන මිලද දැඩි ලෙස ඉහළ ගොස් ඇති බව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු ප්‍රකාශ කළා.
ඔහු සඳහන් කළේ ලෝකයේම ගුවන් යානා ඉන්ධන මිල මේ වන විට දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවයි. ගැලුමක් ඇමෙරිකානු ඩොලර් 2.25ක් පමණ වූ මිල මේ වන විට ඩොලර් 4 ඉක්මවා ගොස් ඇති බවද ඔහු පැවසුවා.
එම තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් ප්‍රවේශ පත්‍රවල මිලටද බලපෑම් එල්ල වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පෙර වෙන් කරගෙන තිබූ ප්‍රවේශ පත්‍ර සඳහා මිල වැඩි කිරීමක් සිදු නොකරන බවද ඔහු සඳහන් කළා.
ලංකා තෙල් සංස්ථාව විසින් කෙටි කාලයකට ශ්‍රී ලංකන් ගුවන් සේවයට යම් සහනයකට ගුවන් යානා ඉන්ධන ලබා දී ඇති බවද ඔහු කියා සිටියා.
නව ගුවන් ප්‍රවේශ පත්‍ර වෙන්කර ගැනීමේදී එදිනට පවතින මිල අනුව ගාස්තු වෙනස් විය හැකි බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.
මැද පෙරදිග කලාපයේ ගුවන් මාර්ග කිහිපයක් වසා දමා ඇති බැවින් විකල්ප මාර්ග භාවිතා කිරීමට සිදුවීමත්, ඒ හේතුවෙන් වැඩි දුර ගමන් කිරීමට සහ වැඩි ඉන්ධන වැය කිරීමට සිදුවීමත් මෙම තත්ත්වයට හේතු වී ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.