YouTube ආයතනය AI තාක්ෂණය භාවිතයෙන් පුද්ගලයන්ගේ රූපය හා ස්වරූපය අනිසි ලෙස යොදා නිර්මාණය කරන ව්‍යාජ වීඩියෝ (Deepfake) හඳුනාගැනීම සඳහා නව තාක්ෂණික මෙවලමක් නියමු ව්‍යාපෘතියක් ලෙස හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.
මෙම වැඩසටහන ප්‍රථමයෙන් දේශපාලනඥයන්, රජයේ නිලධාරීන් සහ මාධ්‍යවේදීන් ඇතුළු විශේෂිත පිරිසක් සඳහා ක්‍රියාත්මක කෙරෙන අතර, AI මගින් තම අවසරයකින් තොරව නිර්මාණය කරන ලද වීඩියෝ හඳුනා ගැනීමට සහ ඒවා ඉවත් කරන ලෙස ඉල්ලීමට ඔවුන්ට අවස්ථාව හිමිවේ.
මෙම පද්ධතිය ප්‍රකාශන හිමිකම් සහිත වීඩියෝ හඳුනාගන්නා ක්‍රමයට සමාන ලෙස ක්‍රියා කරන අතර, AI මගින් නිර්මාණය කරන ලද මුහුණු හා රූප හඳුනාගැනීමට හැකි බව සඳහන්.
ජනප්‍රිය පුද්ගලයන් පවසන හෝ කරන දේ අසත්‍ය ලෙස පෙන්වමින් ජනතාව නොමඟ යැවීම වැළැක්වීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ බවද YouTube ආයතනය පවසයි.
මෙම සේවාව භාවිතා කිරීම සඳහා සුදුසුකම් ලබන පුද්ගලයන්ට තම සෙල්ෆි ඡායාරූපයක් සහ රජයේ හැඳුනුම්පතක් ඉදිරිපත් කර අනන්‍යතාව තහවුරු කළ යුතු අතර, අනතුරුව තම රුවට සමාන වීඩියෝ පද්ධතිය තුළ තිබේදැයි පරීක්ෂා කර ඒවා ඉවත් කරන ලෙස ඉල්ලීමේ හැකියාව ලැබේ.
එමෙන්ම සංවේදී AI අන්තර්ගත සඳහා විශේෂ ලේබලයක් යොදන බවත්, අනාගතයේදී මෙවැනි ව්‍යාජ වීඩියෝ උඩුගත කිරීමට පෙරම ඒවා වැළැක්වීමේ තාක්ෂණය හඳුන්වා දීමට සැලසුම් කර ඇති බවද වාර්තා වේ.