අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සිය පිලිපීන නිල සංචාරය අතරතුර මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා මාලාවකට සහභාගී වී තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ ආසියානු සංවර්ධන බැංකුව අතර පවතින සංවර්ධන සහයෝගීතාව ශක්තිමත් කිරීම, ක්‍රියාත්මක ව්‍යාපෘති සමාලෝචනය කිරීම සහ අනාගත සහයෝගීතා අවස්ථා ගවේෂණය කිරීම මෙම සාකච්ඡාවලදී ප්‍රධාන වශයෙන් අවධානයට ගෙන ඇත.
මෙහිදී අග්‍රාමාත්‍යවරිය ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති Masato Kanda මහතා හමුවූ අතර, ශ්‍රී ලංකාව සහ ADB අතර හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව දෙපාර්ශවය අවධානය යොමු කළහ. ශ්‍රී ලංකාව මෑත කාලීන ආර්ථික අර්බුදයෙන් පසු ආර්ථිකය ස්ථාවර කිරීමට ගෙන යන උත්සාහයන් ද එහිදී ADB සභාපතිවරයාගේ පැසසුමට ලක් විය.
එමෙන්ම, අග්‍රාමාත්‍යවරිය ADB උප සභාපති (දකුණු, මධ්‍යම සහ බටහිර ආසියාව) Yingming Yang මහතා සමඟ ද සාකච්ඡා කළ අතර, ශ්‍රී ලංකාව තුළ ADB මඟින් අරමුදල් සපයන ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ සෞඛ්‍ය, අධ්‍යාපන සහ සමාජ සංවර්ධන ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩිදියුණු කිරීම පිළිබඳව අවධානය යොමු විය.
ඊට අමතරව Christine Engstrom මහත්මිය සමඟ පැවති සාකච්ඡාවකදී මානව හා සමාජ සංවර්ධනය, රාජ්‍ය අංශ කළමනාකරණය සහ මූල්‍ය අංශ ප්‍රතිසංස්කරණ පිළිබඳව ද විශේෂ අවධානය යොමු කර තිබෙනවා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ අනාගත ආයෝජන සිදු කිරීමේදී යටිතල පහසුකම් සංවර්ධනයට අමතරව මානව සම්පත් සංවර්ධනය සහ ඉගැනුම්-ඉගැන්වීම් ක්‍රියාවලියේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමේ වැදගත්කම ද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.
මෙම සාකච්ඡාවලින් අනතුරුව, ASEAN ආයතන, පිලිපීන අධ්‍යාපන බලධාරීන් සහ ADB නියෝජිතයින් සහභාගී වූ අධ්‍යාපනය සහ කුසලතා සංවර්ධනය පිළිබඳ ප්‍රතිපත්ති සංවාදයකට ද අග්‍රාමාත්‍යවරිය එක්වී තිබෙනවා.
මෙම මැනිලා සංචාරය මඟින් තිරසාර සංවර්ධනය ඉදිරියට ගෙන යාම, අධ්‍යාපන පද්ධති ශක්තිමත් කිරීම සහ සියල්ල ඇතුළත් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාව, ADB සහ කලාපීය හවුල්කරුවන් අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට අවධානය යොමු වී ඇත