ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතව තිබූ 20යි 20 සහ එක්දින ක්‍රිකට් තරගාවලිය කල් දැමීමට ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.
එම තරගාවලිය මෙම මස 13 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ බව සඳහන්.
කෙසේ වෙතත් කලාපීය වශයෙන් පවතින උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් සීමා කිරීම ඇතුළු අනපේක්ෂිත සැපයුම් සහ සංවිධානමය ගැටලු මතුවීම නිසා මෙම තරගාවලිය 2026 වසරේ අවසන් කාර්තුව දක්වා කල් දැමීමට තීරණය කර ඇති බව ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
මෙම තරගාවලිය ඇෆ්ගනිස්තානය විසින් ශ්‍රී ලංකාවට සත්කාරකත්වය ලබා දෙන පළමු තරගාවලිය ලෙස ඉතිහාසගත වීමට නියමිතව තිබුණා.
එහෙත් පවතින අභියෝගාත්මක තත්ත්වය සැලකිල්ලට ගනිමින් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව සහ තරගාවලියේ සංවිධාන කටයුතු සුරක්ෂිතව පවත්වාගෙන යාම සඳහා මෙම තීරණය ගත් බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.