ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බලකාය සහ එරට හමුදා පොලිස් භටයින් ආයුධ බිම තබා යටත් නොවන්නේ නම්, ඔවුන්ට නියත මරණයකට මුහුණ දීමට සිදුවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.
ඔහු සඳහන් කළේ, සියලු අරමුණු සාර්ථක වන තෙක් ඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.
ඉරානයට එරෙහිව දියත් කළ “Epic Fury” හමුදා මෙහෙයුම අතරතුරදී අමෙරිකානු හමුදා සාමාජිකයින් තිදෙනෙකු මියගොස් ඇති අතර තවත් පස් දෙනෙකු තුවාල ලබා ඇති බවද ඔහු ප්‍රකාශ කළා.
ඉරානය තුළ පවතින “න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ වූ ලේ පිපාසිත ත්‍රස්තවාදී පාලනය” අවසන් කිරීම සඳහා ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ප්‍රහාර එල්ල කළ බවත් ට්‍රම්ප් සඳහන් කළා.
තවද නිදහස බලාපොරොත්තු වන ඉරාන දේශප්‍රේමීන් මේ මොහොතේ නිර්භීතව තම රට නැවත ලබා ගැනීමට උත්සාහ කළ යුතු බවත්, එම උත්සාහයට අමෙරිකාව සහාය දෙන බවත් ඩොනලඩ් ට්‍රම්ප් අවධාරණය කර තිබෙනවා