මැදපෙරදිග කලාපයේ රටවල් ගණනාවක ගුවන් අවකාශ තාවකාලිකව වසා දමා ඇති බැවින්, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට මැදපෙරදිග බලා පිටත්ව යාමට නියමිත සියලු ගුවන් ගමන් අද (මාර්තු 1) සවස 05.00 දක්වා අත්හිටුවා ඇති බව ගුවන් තොටුපොළ කාර්යභාර නිලධාරීවරයා සඳහන් කරයි.
ඔහු පෙන්වා දෙන්නේ අද (මාර්තු 1) උදෑසන 06.15 වනවිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට සැලසුම් කර තිබූ ගුවන් ගමන් 18ක් සහ එම ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිත ගුවන් ගමන් 25ක් අවලංගු කර ඇති බවයි.
එමෙන්ම ඊයේ (පෙබරවාරි 28) දහවල් කටුනායකෙන් මැදපෙරදිග බලා පිටත්ව ගිය FitsAir සහ Air Arabia සමාගම්වල ගුවන් යානා දෙකක් නැවත කටුනායක ගුවන් තොටුපොළ වෙත හැරී පැමිණ ඇති බවද වාර්තා වෙයි.
මැදපෙරදිග රටවලට හෝ එම කලාපය හරහා වෙනත් ගමනාන්තයන් වෙත ගමන් කිරීමට සැලසුම් කර ඇති ගුවන් මගීන්, කටුනායක ගුවන් තොටුපොළට පැමිණීමට පෙර තම ගුවන් සේවා නියෝජිතයන් සම්බන්ධ කරගැනීම, එසේ නොමැතිනම් තම විද්‍යුත් තැපැල් හා කෙටි පණිවිඩ පරීක්ෂා කිරීම අත්‍යවශ්‍ය බවද නිලධාරීවරයා අවධාරණය කරයි.
එසේම ගුවන් ගමන් පිළිබඳ යාවත්කාලීන තොරතුරු සඳහා Airport and Aviation Services Sri Lanka වෙබ් අඩවිය වන www.airport.lk වෙත පිවිසෙන ලෙසද මගීන්ගෙන් ඉල්ලා සිටී.
කෙසේ වෙතත් ඔස්ට්‍රේලියාව, චීනය, මැලේසියාව, ඉන්දුනීසියාව, ඉන්දියාව, තායිලන්තය, ප්‍රංශය, එංගලන්තය සහ ජර්මනිය වෙත පිටත්ව යන හා එම රටවලින් පැමිණෙන ගුවන් ගමන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර, මැදපෙරදිග කලාපයේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් තම සියලු ගුවන් ගමන් අද දිනයටද අවලංගු කර ඇති බව SriLankan Airlines නිවේදනය කර තිබේ. එම සමාගම පවසන්නේ තත්ත්වය නිරන්තරයෙන් නිරීක්ෂණය කරමින් සිටින බවයි.