ඉරානයේ අවසන් ෂා රජුගෙ පුත්‍රයා වන Reza Pahlavi, ඉරානයේ උච්ච ආගමික නායකයා වන Ali Khamenei පිළිබඳව අදහස් දක්වමින් දැඩි ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
The Washington Post පුවත්පතට ලබාදුන් ලිපියක් හරහා ඔහු මේ අදහස් පළ කර ඇති අතර, එහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ස්තූතිය පළ කරමින් ඉරාන ජනතාවට “ඔබගේ නිදහසේ වේලාව දැන් අත ළඟයි” යනුවෙන් ප්‍රකාශ කර ඇත.
ඔහු පෙන්වා දෙන්නේ, අඩ සියවසකට ආසන්න කාලයක් පුරා ඉස්ලාමීය ජනරජය අසල්වැසි රටවල ස්වෛරීභාවයට බාධා කරමින්, ලොව පුරා ගැටුම් තත්ත්වයන් උද්දීපනය කරමින් සහ න්‍යෂ්ටික අවි සමඟ ඒවා ප්‍රහාර සඳහා භාවිත කළ හැකි මිසයිල සංවර්ධනය කරමින් සිටින බවයි.
එමෙන්ම ජනවාරි මාසයේදී විරෝධතාකරුවන්ට එරෙහිව සිදු කළ මර්දන ක්‍රියාමාර්ගවලදී දහස් ගණනක් මියගොස් ඇති බවත්, එවැනි සිදුවීම් ඉස්ලාමීය ජනරජයේ සිදු වූ වඩාත්ම දරුණු අපරාධ අතරට අයත් වන බවත් ඔහු සඳහන් කර ඇත.
රටේ අනාගත දේශපාලන ගමන් මඟ තීරණය කිරීම සඳහා ජනමත විචාරණයකින් අනුමත කළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කළ යුතු බවත්, එමෙන්ම ජාත්‍යන්තර අධීක්ෂණය යටතේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්විය යුතු බවත් පහ්ලවී අවධාරණය කරයි.
“ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයන් කල්තියා දක්නට ලැබෙන්නේ ඉතා දුර්ලභව. නමුත් ධෛර්යය, ශක්තිමත් නායකත්වය සහ එකමුතුව රටක ගමන් මඟ සම්පූර්ණයෙන්ම වෙනස් කළ හැක,” යනුවෙන් ඔහු තවදුරටත් සඳහන් කර තිබේ.