Lockheed C-130H Hercules වර්ගයේ ප්‍රවාහන ගුවන් යානයක්, බොලිවියානු ගුවන් හමුදාවට අයත් එකක්, ලා පාස් (La Paz )නගරයට අයත් එල් ඇල්ටො ජාත්‍යන්තර ගුවන් තොටුපළ අසල ප්‍රධාන මාර්ගයකට කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වාර්තා අනුව, එල් ඇල්ටො ප්‍රදේශයේ පැවති අයහපත් කාලගුණික තත්ත්වයන් අතරතුර ගුවන් යානය ගොඩබැස්සවීමට උත්සාහ කරන විට එය ධාවන පථයෙන් ලිස්සා ගොස් අසල මාවතකට කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. අධික වර්ෂාව සහ අයහපත් කාලගුණය මෙම අනතුරට ප්‍රධාන හේතුවක් විය හැකි බවටද සැක පළ කර ඇත.
මෙම අනතුරින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් 30කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මියගිය අය අතර ගුවන් යානයේ සිටි පුද්ගලයින් මෙන්ම එම මාර්ගයේ ගමන් කරමින් සිටි සිවිල් වැසියන් ද සිටින බවද වාර්තා වේ.
අනතුරෙන් පසු ගුවන් යානය තුළ තිබූ විශාල මුදල් නෝට්ටු ප්‍රමාණයක් මාර්ගය පුරා විසිරී ගොස් තිබුණි. ඒ සමඟ එම ස්ථානයට පැමිණි ප්‍රදේශවාසීන් සහ මගීන් විසිරුණු මුදල් එකතු කිරීමට උත්සාහ කිරීමත් සමඟ එම ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූ බවද සඳහන්.
කෙසේ වෙතත්,බොලිවියානු මධ්‍යම බැංකුවේ සභාපතිවරයා පවසා ඇත්තේ එම මුදල් නෝට්ටු තවමත් නිල භාවිතයට නිකුත් කර නොමැති බැවින් සහ ඒවායේ අනුක්‍රමික අංක සටහන් කර නොමැති හෙයින් ඒවාට නීතිමය වටිනාකමක් නොමැති බවයි.