හෙරොයින් මත්කුඩු ග්රෑම් 2.53 ක් සන්තකයේ තබා ගැනීම හා ප්රවාහනය කිරීමේ චෝදනාවලට වරදකරු වී කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර තිබූ ජයසිංගම් රජීව් හෙවත් “පොඩි සුදාකරන්” නමැති විත්තිකරු විසින් එම දඬුවමට එරෙහිව ගොනු කළ අභියාචනාව අභියාචනාධිකරණය විසින් ප්රතික්ෂේප කර ඇති අතර, මරණීය දණ්ඩනය තහවුරු කිරීමට තීරණය කර ඇත.
තමන්ට නියම කර තිබූ මරණීය දණ්ඩනය අවලංගු කර තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා විත්තිකරු ඉදිරිපත් කළ අභියාචනාව විභාග කිරීමෙන් අනතුරුව, අභියාචනාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්රන් විසින් මෙම තීන්දුව ප්රකාශයට පත් කර තිබේ. එම තීන්දුවට විනිසුරු පී. කුමාරන් රත්නම්ගේ එකඟතාවද ලැබී ඇති බව සඳහන් වේ.
2014 මාර්තු 17 වැනිදා කොළඹ මාදම්පිටිය ප්රදේශයේ සිදුකළ පොලිස් වැටලීමකදී හෙරොයින් මත්කුඩු ග්රෑම් 2.53 ක් සන්තකයේ තබාගෙන සිටියදී අදාළ සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
ඉන් අනතුරුව නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ප්රවාහනය කිරීම යන චෝදනා යටතේ කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබුණි.
එම නඩුව විභාග කළ මහාධිකරණ විනිසුරුවරයා විසින් විත්තිකරු අදාළ චෝදනාවලට වරදකරු කරමින් ඔහුට මරණීය දණ්ඩනය නියම කළ අතර, එම තීන්දුවට විරුද්ධව ඔහු අභියාචනාධිකරණයට අභියාචනාවක් ගොනු කර තිබුණි.