ශ්‍රී ලංකා නාවික හමුදාව 2025 ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් 404ක් ක්‍රියාත්මක කරමින්, ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 07කට ආසන්න විදේශ විනිමය සෘජුවම උපයා එය ඒකාබද්ධ අරමුදලට බැර කිරීමට හැකි වී ඇති බව නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බුද්ධික සම්පත් මහතා ප්‍රකාශ කළේය.
ඊයේ (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, විදේශීය පෞද්ගලික සමුද්‍රීය ආරක්ෂක සමාගම් සමඟ ගිවිසුම්ගතව වෙළඳ නෞකා සඳහා ආරක්ෂක කණ්ඩායම් පහසුකම් සැපයීමේ මෙහෙයුම් 2025 ඔක්තෝබර් 03 දින සිට නාවික හමුදාව විසින් ස්වාධීනව යළි ආරම්භ කළ බවයි. එතැන් සිට ගත වූ මාස කිහිපයේ මෙහෙයුම් හරහා මෙම විදේශ විනිමය ආදායම ලබාගැනීමට හැකි වූ බවද ඔහු පැවසීය.
නාවික හමුදාව සතුව දැනටමත් පවතින භෞතික හා මානව සම්පත් ප්‍රයෝජනයට ගනිමින්, අවම අමතර වියදමකින් මෙම සේවා පුළුල් කිරීම මෙම ක්‍රමවේදයේ විශේෂත්වයක් ලෙසද හඳුන්වා දෙන ලදී.
එමෙන්ම, නෞකා ආරක්ෂක කණ්ඩායම් (OBST) සඳහා අවශ්‍ය ගිනිඅවි, උණ්ඩ හා අනෙකුත් උපකරණ නාවික හමුදා අවි ගබඩා තුළ ගබඩා කිරීම, මෙහෙයුම් අවශ්‍යතා අනුව ඒවා නාවික හමුදා අධීක්ෂණය හා ආරක්ෂාව යටතේ ප්‍රවාහනය කිරීම ඇතුළු කටයුතු සඳහා පහසුකම් සලසා ඇති බවද සඳහන් කෙරිණි.
මෙවැනි සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් සිදුකරන විදේශීය සමාගම්වල දේශීය නියෝජිතයන් සමඟ ගිවිසුම්ගත වීම ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ සවිස්තරාත්මක සැලසුමක් අනුව සිදු කෙරෙන බව බුද්ධික සම්පත් මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.