කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ධීවර කිමිදුම් කටයුතුවල නිරත ධීවර කාර්මිකයන් සඳහා නව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඇති බව එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.
කිමිදුම්කරුවන්ගේ සංගමය සහ ඒ ආශ්‍රිත ධීවර ක්ෂේත්‍රයේ සේවය කරන ධීවර කාර්මිකයන් දිගු කලක් ඉල්ලා සිටි විශේෂිත රක්ෂණ ආවරණයක් ලෙස මෙම යෝජනාව ක්‍රියාත්මක කර ඇති බවද සඳහන් වේ.
මෙම යෝජනා ක්‍රමය යටතේ ධීවර කටයුතු සම්බන්ධ කිමිදුම් කාර්යයක නිරතව සිටියදී රක්ෂිතයා මරණයට පත් වුවහොත් රුපියල් 1,200,000ක (ලක්ෂ දොළහක) වන්දියක් ලබාදීමට නියමිතය.
තවද, මුහුදේ හෝ මිරිදිය ජලාශවල කිමිදුම් කටයුතු අතරතුර සිදුවන අනතුරු හේතුවෙන් ඇතිවන තාවකාලික අකර්මණ්‍ය වීම් සඳහාද මෙම රක්ෂණය ආවරණ සපයයි.
රුපියල් 1,200,000 හා රුපියල් 1,500,000 වැනි රක්ෂණ ආවරණයන් සහිත විවිධ පැකේජ කිහිපයක්ද හඳුන්වා දී ඇති අතර, වාර්ෂික රක්ෂණ ආවරණයක් සඳහා ධීවර කාර්මිකයා ගෙවිය යුතු වන්නේ රුපියල් 1,920ක අඩු මුදලක් පමණි.