2030 වන විට ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ඇමෙරිකානු ඩොලර් බිලියන 30ක් දක්වා වර්ධනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග විරරත්න මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය හා 2026 වර්ෂය සඳහා සැලසුම් කර ඇති වැඩපිළිවෙළ පිළිබඳ ඊයෙ (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
ඩිජිටල්කරණ වැඩසටහන් යටතේ ප්‍රධාන අරමුණු ලෙස රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය, ඩිජිටල් කර්මාන්ත සංවර්ධනය, ඩිජිටල් ආර්ථිකය ශක්තිමත් කිරීම, අවශ්‍ය තාක්ෂණික හා ඉංජිනේරු ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම සහ අනෙකුත් ක්ෂේත්‍රවල කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම ඉලක්ක කර ඇති බවද ඔහු පැවසීය.
E-commerce සහ ඩිජිටල් ගෙවීම් පද්ධති ව්‍යාප්තිය හරහා මුදල් නෝට්ටු භාවිතය අවම කර ගනුදෙනු ඩිජිටල් වේදිකාවන් වෙත ගෙන යාමෙන් ජනතාවට ඕනෑම ස්ථානයක සිට ඕනෑම වේලාවක ගනුදෙනු කිරීමේ පහසුව සැලසෙන බවත්, එය රටේ සමස්ත කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට දායක වන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
ඩිජිටල් තාක්ෂණ භාවිතය පිළිබඳ රාජ්‍ය නිලධාරීන්ට සහ ජනතාවට දැනුවත් කිරීම සඳහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද සඳහන් කෙරිණි.
මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය, ශ්‍රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල්, විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව, දත්ත ආරක්ෂණ අධිකාරිය, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ සමාගම ඇතුළු ආයතන කිහිපයක් සෘජුවම සම්බන්ධ වන බවද ඔහු පැවසීය.
ඩිජිටල්කරණයට අවශ්‍ය නව ආයතන පිහිටුවීම සහ නීතිමය පදනම ශක්තිමත් කිරීම සඳහා පනත් කෙටුම්පත් සකස් කරමින් සිටින අතර, ඩිජිටල් ආර්ථික පනත මගින් ඩිජිටල් ආර්ථික අධිකාරියක් පිහිටුවීමට නියමිත බවද සඳහන් විය. එමෙන්ම සයිබර් ආරක්ෂණ පනත හඳුන්වා දීමෙන් සයිබර් අවදානම්වලට මුහුණ දීමට අවශ්‍ය ආරක්ෂණ ක්‍රමවේද සවිබල ගැන්වෙන බවද ඔහු පෙන්වා දුන්නේය.
ඩිජිටල් පරිවර්තනයට සහය වශයෙන් පසුගිය අයවැයෙන් ඩිජිටල් අමාත්‍යංශයට රුපියල් බිලියන 16.5ක ප්‍රතිපාදන වෙන් කර ඇති බවද අමාත්‍යවරයා හෙළි කළේය.
Gov Pay පද්ධතිය ඩිජිටල්කරණයේ වැදගත් ආරම්භයක් බවත්, එය QR ගෙවීම් දක්වා වර්ධනය කිරීමට සැලසුම් කර ඇති බවත් පැවසීය. මෙම වසර අවසන් වන විට ඩිජිටල් හැදුනුම්පත් හඳුන්වා දීම සහ සුපර් ඇප් වේදිකාවක් හරහා රාජ්‍ය සේවාවන් එක් තැනකට ගෙන ඒමට නියමිත බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
තවද, රාජ්‍ය සේවාවන්ට AI තාක්ෂණය ඇතුළත් කිරීම, ගමට යටිතල පහසුකම් පුළුල් කිරීම සහ සිම් කාඩ් ලියාපදිංචිය විධිමත් කිරීම මෙම වසරේ ප්‍රමුඛ කාර්යයන් අතරට අයත් වන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.