Latest News

2031 වසර වනවිට තායිවානය අසල මිසයිල පද්ධතියක් ස්ථානගත කිරීම⁣ට ජපානයේ සූදානමක්

Published 10 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජපාන ආරක්ෂක අමාත්‍යවරයා ඊයෙ (25) ප්‍රකාශ කළේ, 2031 වසරේ මාර්තු මාසය වනවිට තායිවානය අසල පිහිටි යොනාගුනි දූපතේ මිසයිල පද්ධතියක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බවයි.
තායිවානයට කිලෝමීටර් 110ක් පමණ දුරින් පිහිටි මෙම දූපතට මිසයිල යෙදවීම සම්බන්ධයෙන් ජපානය 2022 දී නිවේදනය කළද, නිශ්චිත කාලසීමාවක් සඳහන් කළ පළමු අවස්ථාව මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ස්ථාපිත කිරීමට නියමිත ජපාන නිෂ්පාදිත පද්ධතියට කිලෝමීටර් 50ක පරාසයක, අංශක 360ක ආවරණයක් තුළ එකවර ගුවන් ඉලක්ක 100ක් නිරීක්ෂණය කිරීමේ හැකියාව ඇති බව සඳහන් වේ. එමෙන්ම, එකවර ඉලක්ක 12කට ප්‍රහාර එල්ල කළ හැකි ලෙස මෙම පද්ධතිය සැලසුම් කර ඇති බවද වාර්තා වේ.
චීනයෙන් වෙන්ව ස්වයං පාලනයක් යටතේ ක්‍රියාත්මක තායිවානය පිළිබඳ අයිතිවාසිකම් චීනය විසින් ඉදිරිපත් කරමින් සිටින අතර, එය කලාපීය ආරක්ෂක ගැටලු තත්ත්වයක් ලෙස දිගින් දිගටම මතු වී ඇත. මෙම පසුබිම තුළ ජපානය සහ චීනය අතරද දේශපාලනික නොසන්සුන්තාවන් පැන නැගී තිබේ.
තායිවානයට එල්ල වන ඕනෑම ප්‍රහාරයක් පිළිබඳව ජපානය සිය ආත්මාරක්ෂක බළකාය සක්‍රීය කිරීමට සූදානම් බව ජපාන නායකත්වයෙන් මීට පෙර සඳහන් කර තිබූ අතර, එම ප්‍රකාශයන් හේතුවෙන් දෙරට අතර රාජතාන්ත්‍රික ආතතියක් ද උද්ගත විය.
ජපානය විසින් යොනාගුනි දූපතේ මිසයිල පද්ධතිය ස්ථාපිත කිරීමට ගත් තීරණය පිළිබඳව චීනය නිල වශයෙන් ප්‍රතිචාර දක්වා නොමැති නමුත්, කලාපීය ආතතිය වැඩි කළ හැකි පියවරක් ලෙස එය සැලකිය හැකි බවට පෙර අවස්ථාවලදී ඔවුන් අනාවරණය කර තිබුණි.
විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, තායිවානය සම්බන්ධ ගැටලු උත්සන්න වුවහොත් එය විශාල බලපෑම් ඇතිකරන ජාත්‍යන්තර ආරක්ෂක අර්බුදයකට මඟ පෑදිය හැකි බවයි.

World News

Send your contact Details Today