ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ (WBSC) 60 වන සංවත්සර සැමරුම් උළෙල සහ 11 වන මහ සභාවේ දෙවන විධායක කමිටු සභාවාරය එළැඹෙන නොවැම්බර් 28 සිට දෙසැම්බර් 02 දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය.
මෙම අවස්ථාවට අදාළ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
දෙස් විදෙස් භික්ෂූන් වහන්සේලා සහ ගිහි නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම ජාත්‍යන්තර සමුළුව සඳහා අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය සැපයීම වෙනුවෙන් ඒකාබද්ධ විශේෂ කමිටුවක් පත් කිරීමට මෙහිදී තීරණය කෙරිණි. ඒ සඳහා බුද්ධ ශාසන අමාත්‍යංශය, ජනාධිපති කාර්යාලය, ආරක්ෂක අංශ, පොලීසිය සහ විදේශ අමාත්‍යංශය නියෝජනය කරන නිලධාරීන් එක්වනු ඇත.
1966 වසරේදී ශ්‍රී ලංකාවේදී ආරම්භ කරන ලද මෙම ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයේ 60 වන සංවත්සරය එය උපන් භූමිය වූ ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සුවිශේෂී අවස්ථාවක් බව සංවිධායක මණ්ඩලය සඳහන් කළේය.
ථෙරවාද, මහායාන සහ වජ්රයාන සම්ප්‍රදායන් නියෝජනය කරමින් රටවල් 50කින් නියෝජිතයන් 600කට ආසන්න පිරිසක් මෙරටට පැමිණීමට නියමිත අතර, මෙරට භික්ෂූන් වහන්සේලා 500 නමක් පමණද සහභාගී වීමට අපේක්ෂිතය. එමෙන්ම, භූතාන රජු ඇතුළු බෞද්ධ රටවල රාජ්‍ය නායකයන්ටද ආරාධනා කිරීමට සැලසුම් කර තිබේ.
සමුළුවේ සමාරම්භක උත්සවය නොවැම්බර් 28 දා කොළඹ නාගානන්ද බෞද්ධ විශ්වවිද්‍යාලයේදී පැවැත්වෙන අතර, විධායක සභා රැස්වීම් සහ ශාස්ත්‍රීය සම්මන්ත්රණ නොවැම්බර් 29 දා පැවැත්වීමට නියමිතය. නොවැම්බර් 30 දා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ලෝක සාමය පතා විශේෂ ආගමික වැඩසටහනක් සංවිධානය කර ඇත.
දෙසැම්බර් 01 දා රුවන්වැලි මහා සෑය සහ මහනුවර ශ්‍රී දළදා මාළිගාව කේන්ද්‍ර කරගනිමින් ආගමික වතාවත් පැවැත්වෙන බවද සඳහන් වේ.
මෙම සමුළුව මඟින් ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමය සහ ආගන්තුක සත්කාරය ලෝකයට හඳුන්වා දීමටත්, සංචාරක ක්ෂේත්රයට ධනාත්මක බලපෑමක් ඇති කිරීමටත් හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම සංවත්සර උත්සවය ජාතික මට්ටමින් විශාලත්වයෙන් සංවිධානය කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා අවධාරණය කළ අතර, ඒ සඳහා රජයේ පූර්ණ සහය ලබා දෙන බවද ප්‍රකාශ කළේය. විශේෂ කමිටුව මඟින් ඉටු කළ යුතු කාර්යයන් කඩිනමින් හඳුනාගෙන සැලසුම් සකස් කරන ලෙසද උපදෙස් ලබා දී තිබේ.
විදේශීය නියෝජිතයන්ගේ පැමිණීම හා පිටවීම පහසු කිරීම සඳහා ගුවන් තොටුපළ තුළ විශේෂ පහසුකම් සැපයීම පිළිබඳවද මෙහිදී අවධානය යොමුවිය.
මෙම සාකච්ඡාවට මහා සංඝරත්නය සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකුද එක්ව සිටියහ.