අද (24) පෙරවරුවේ වාද්දුව – මොරොන්තුඩුව මාර්ගයේ මැලෑගම ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරකින් තුවාල ලබා සිටි රියදුරෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාද්දුව පොලිසිය සඳහන් කරයි.
අනතුරින් තුවාල ලැබූ අනෙක් බස් රථයේ රියදුරා මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවද පොලිසිය පැවසීය. මියගොස් ඇත්තේ අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි බස් රථ රියදුරෙකු බව අනාවරණය වේ.
කළුතර – බණ්ඩාරගම හා වේරගම – කොළඹ මාර්ගවල ධාවනය වන බස් රථ දෙකක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථ දෙකම සිය ගමන් වාර ආරම්භ කිරීමට යමින් සිට ඇති බව හෙළිවී තිබේ.
එක් බස් රථයක් ඉදිරියෙන් ගමන් කළ වෙනත් වාහනයක් අභිබවා යාමට උත්සාහ කිරීමේදී අනතුර සිදුවන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.
බරපතල තුවාල ලැබූ රියදුරන් දෙදෙනා පානදුර මූලික රෝහලට ඇතුළත් කළද, එහිදී එක් රියදුරෙකු මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කළේය.
අනතුර හේතුවෙන් බස් රථ මාර්ගය හරහා නතර වී තිබීම නිසා පානදුර – මොරොන්තුඩුව මාර්ගයේ මැලෑගම ප්‍රදේශයෙන් ගමනාගමනය තාවකාලිකව අවහිර විය. පසුව පොලිස් නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කළහ.
වාද්දුව පොලිස් ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීමෙන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.