එක්සත් රාජධානියේ අධිකරණයක් විසින් තියුණු ආයුධයකින් කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියකට වරද පිළිගත් ශ්‍රී ලාංකිකයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් පැනවීමට ඊයේ (20) තීරණය කර තිබේ.
මෙම දඬුවමට ලක්ව ඇත්තේ තිසර වේරගලගේ නම් 37 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකි. පසුගිය වසරේ අගෝස්තු 21 වනදා කාඩිෆ් හි රථගාලකදී ඔහු විසින් උල් පිහියකින් පහරදී නිරෝධා නිවුන්හැල්ල නම් 32 හැවිරිදි කාන්තාව ඝාතනය කර තිබුණි.
අධිකරණයේදී අනාවරණය වූයේ, සැකකරු විසින් සෙන්ටිමීටර 15ක පමණ උල් පිහියක් භාවිත කරමින් ඇයගේ මුහුණ, බෙල්ල, පපුව, අත සහ කකුලට දරුණු තුවාල සිදුකර ඇති බවයි. නවතා තිබූ මෝටර් රථ දෙකක් අතර ඇය එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, ප්‍රහාරයේ දැඩිත්වය හේතුවෙන් භාවිතා කළ පිහියේ මිට පවා කැඩී ගොස් තිබූ බව සඳහන් වේ.
ඝාතනයට ලක්වූ කාන්තාව සැකකරුගේ විවාහක බිරිඳ වුවද, කලක සිට දෙදෙනා වෙන්ව ජීවත්ව සිට ඇති බවද හෙළිවිය. සිද්ධියට මුල් වී ඇත්තේ ඇය වෙනත් අයෙකු සමඟ ප්‍රේම සම්බන්ධයක් ආරම්භ කිරීම බව වාර්තා වේ.
නඩු විභාගයේ ආරම්භයේදී සැකකරු මිනීමැරුම් චෝදනා ප්‍රතික්ෂේප කළද, පසුගිය ජනවාරි මාසයේ පැවති නඩු විභාගයකදී ඔහු වරද පිළිගෙන තිබුණි. එහි තීන්දුව ඊයේ ප්‍රකාශයට පත් කරමින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම නියම කෙරිණි.
මෙම යුවළ 2017 දී ශ්‍රී ලංකාවේදී විවාහ වී ඇති අතර, වැඩිදුර අධ්‍යාපනය සහ වෘත්තීය කටයුතු සඳහා පසුව එක්සත් රාජධානිය වෙත ගොස් ඇත. 2022 වසරේදී කාඩිෆ් වෙත පදිංචියට ගොස් ඇති ඔවුන්, විවාහ ගැටලු හේතුවෙන් 2025 අප්‍රේල් මාසයේ සිට වෙන වෙනම නිවාස දෙකක ජීවත්ව සිට ඇති බවද අධිකරණයේදී අනාවරණය විය.