මිනීමැරුම් සහ ස්ත්‍රී දූෂණ චෝදනාවලට වැරදිකරු වී ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින ඉන්දීය ආධ්‍යාත්මික ගුරුවරයෙකු වන ගුර්මීට් රාම් රහීම් සිං (Gurmeet Ram Rahim Singh), 15 වන වතාවටත් කෙටි කාලීන නිදහස (Parole) ලබා බන්ධනාගාරයෙන් පිටතට පැමිණීම දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබේ.
මිලියන සංඛ්‍යාත අනුගාමිකයින් පිරිසක් සිටින “ඩෙරා සචා සවුදා” (Dera Sacha Sauda) නිකායේ නායකයා වන රාම් රහීම් සිං, ප්‍රසිද්ධියට පත්ව සිටින්නේ විචිත්‍රවත් ඇඳුම් පැළඳුම් සහ “රොක් ස්ටාර්” වර්ගයේ සුඛෝපභෝගී ජීවන රටාවකට හිමිකම් කියන අයෙකු ලෙසය.
2017 කාන්තාවන් දූෂණය කිරීමේ චෝදනාවට වසර 20ක සිරදඬුවම් නියම විය.
එමෙන්ම 2019 මාධ්‍යවේදියෙකු ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයට වැරදිකරු වී ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම විය.
සිරගතව සිටියද, 2017 සිට මේ දක්වා ඔහු 15 වතාවක් නිදහස ලබා ඇති අතර, ඒ අනුව දින 400කට වැඩි කාලයක් බන්ධනාගාරයෙන් බැහැරව නිදහසේ ගත කර ඇත.
හර්යානා ප්‍රාන්ත රජයේ “යහපත් හැසිරීම්” පිළිබඳ නීති යටතේ ඔහුට මෙලෙස නිදහස හිමිව තිබේ.
පසුගිය ජනවාරි මාසයේ නිදහස ලැබීමෙන් පසු ඔහු සිය සමාජ මාධ්‍ය ජාලා හරහා නව ගීත සහ දේශනා පවා මුදාහැරීමට කටයුතු කර ඇත.
මෙම “ගුරු” නිරන්තරයෙන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ඔහුගේ වින්දිතයින්ගේ පවුල්වල සාමාජිකයින් දැඩි කෝපය පළ කරයි.
රාම් රහීම් සිංගේ කල්ලියේ රහස් හෙළි කිරීම නිසා 2002 දී ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී රාම් චන්දර් චත්රපතිගේ පුත් අන්ෂුල් චත්‍රපති පවසන්නේ, මෙය යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට එල්ල වූ මරු පහරක් බවයි.
විචාරකයින් පෙන්වා දෙන්නේ ඉන්දියාව වැනි රටක මෙවැනි ආධ්‍යාත්මික නායකයින් සතු අතිවිශාල ඡන්ද පදනම සහ ධනය හේතුවෙන් දේශපාලන අධිකාරිය ඔවුන්ට විශේෂ සැලකිලි දක්වන බවයි.
මැතිවරණ සමයන් ආසන්න වන විට මොහුට මෙලෙස නිදහස ලැබීම අහඹු සිදුවීමක් නොවන බවටද චෝදනා එල්ල වේ.
නීතිය සැමට සමාන විය යුතු වුවත්, මිලියන ගණනකගේ භක්තිය සහ දේශපාලන හයිය ඇති මෙවැනි “දේව මනුෂ්‍යයන්” හමුවේ යුක්තියේ තරාදිය වෙනස් වන බවට මෙම සිදුවීම කදිම නිදසුනක් බව සමාජ ක්‍රියාකාරීහු පවසති.