ඊශ්‍රායලයේ ප්‍රධාන අභ්‍යන්තර ආරක්ෂක සේවය වන ‘ෂින් බෙට්’ (Shin Bet) ආයතනයේ ප්‍රධානී ඩේවිඩ් සිනිගේ සහෝදරයා ඇතුළු පුද්ගලයින් 15 දෙනෙකු ගාසා තීරයට නීතිවිරෝධී ලෙස භාණ්ඩ ජාවාරම් කිරීමේ චෝදනාව මත එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් බෙයාලෙල් සිනි (Bezalel Zini) ඇතුළු පිරිසට එරෙහිව එල්ල වී ඇති ප්‍රධාන චෝදනාව වන්නේ යුද සමයේදී පනවා ඇති සීමා උල්ලංඝනය කරමින්, ලාභ පරමාර්ථයෙන් ගාසා තීරය වෙත නීතිවිරෝධී සිගරට්, ජංගම දුරකථන සහ වාහන අමතර කොටස් ප්‍රවාහනය කිරීමයි.
ඒ අනුව බටහිර ඉවුරේ සැපයුම්කරුවන්ගෙන් ලබාගන්නා භාණ්ඩ, ඉශ්‍රායල හමුදා රථ පෙළ (Military Convoys) හරහා රහසිගතව ගාසා තීරයට යවා ඇත.
මානුෂීය ආධාර මුවාවෙන් ඇතැම් අවස්ථාවලදී සහන සේවා හෝ හමුදා මෙහෙයුම් අවශ්‍යතා ලෙස හඟවමින් මෙම ජාවාරම සිදු කර තිබේ.
මෙම ජාවාරම් ජාලයට ඉශ්‍රායල අතිරේක හමුදා භටයින් (Reserve Soldiers) මෙන්ම පලස්තීන ජාතිකයින්ද සම්බන්ධ වී ඇති බව හෙළි වී ඇත.
මෙම ක්‍රියාව ඉශ්‍රායල රාජ්‍යයේ ආරක්ෂාවට “බරපතල තර්ජනයක් බව බෙට් ආරක්ෂක සේවය අනතුරු අඟවයි.
ජාවාරම්කරුවන් හරහා ලැබෙන භාණ්ඩවලින් ලැබෙන ලාභය හමාස් සංවිධානයේ පැවැත්මට සහ ඔවුන්ගේ මිලිටරි ශක්තිය වර්ධනය කර ගැනීමට සෘජුවම දායක වන බව එම ආයතනය පෙන්වා දෙයි.
එසේම, මෙම ජාවාරම් මාර්ග හරහා අවි ආයුධ සහ තාක්ෂණික උපකරණ ගාසා තීරයට ඇතුළු වීමේ දැඩි අවදානමක් පවතින බවද සඳහන් වේ.
අත්අඩංගුවට ගත් බෙයාලෙල් සිනිගේ සහෝදරයා වන ඩේවිඩ් සිනි ෂින් බෙට් ආයතනයේ ප්‍රධානියා වුවද, මෙම ජාවාරම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව කිසිදු සාක්ෂියක් මෙතෙක් හමුවී නොමැත.
ඩේවිඩ් සිනි යනු අගමැති නෙතන්යාහුගේ සමීපතමයෙකු වන අතර, බුද්ධි අංශ පළපුරුද්දක් නොමැතිව එම ධුරයට පත්වීම හේතුවෙන් ඔහු මීට පෙරද දැඩි විවේචනයට ලක් වූ අයෙකි.
සම්බන්ධතාවල පවතින ගැටලුකාරී බව නිසා බෙයාලෙල් සිනි පිළිබඳ පරීක්ෂණ ෂින් බෙට් ආයතනය වෙනුවට ඊශ්‍රායල පොලිසිය විසින් සෘජුවම මෙහෙයවනු ලැබීය.
බෙයාලෙල් සිනිගේ නීතිඥවරයා පවසන්නේ තම සේවාදායකයා නිර්දෝෂී බවත් ඔහු සැමවිටම රටේ යහපත වෙනුවෙන් කටයුතු කළ අයෙකු බවත්ය.
කෙසේ වෙතත්, ඔහුට එරෙහිව “යුද සමයේදී සතුරාට උපකාර කිරීම” සහ “අල්ලස් ගැනීම” යන බරපතල චෝදනා එල්ල වී තිබේ.