පසුගිය මාස කිහිපය පුරා මැදපෙරදිග කලාපයේ වර්ධනය වූ දැඩි යුදකාමී වාතාවරණය මධ්‍යයේ, ඇමරිකා එක්සත් ජනපදයේ සහ ඉරානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඕමානයේදී සෘජු සාකච්ඡා පැවැත්වීමට සූදානම් වෙයි.
දෙරට අතර ඇති වී තිබෙන දැඩි රාජ්‍යතාන්ත්‍රික අර්බුදය සමනය කරගැනීම මෙම හමුවේ ප්‍රධාන අරමුණයි.
ඉරානය තුළ පසුගියදා පැවැති විරෝධතාවලට එල්ල වූ මර්දනය සහ ඊට ප්‍රතිචාර වශයෙන් ඇමරිකාව මැදපෙරදිග කලාපයට අතිරේක හමුදා සහ යුද නැව් කැඳවීම හේතුවෙන් දෙරට අතර ගැටුමක් ඇති වීමේ අවදානමක් මතු විය.
මානව හිමිකම් සංවිධාන පවසන පරිදි ඉරාන විරෝධතාවලදී පුද්ගලයින් 6,000කට අධික පිරිසක් මියගොස් ඇති අතර 50,000කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සාකච්ඡා සඳහා කටාර්, තුර්කිය සහ ඊජිප්තුව මැදිහත් වී ඇති අතර, ඉරානයේ ඉල්ලීම පරිදි තුර්කියේ පැවැත්වීමට තිබූ හමුව ඕමානය වෙත මාරු කර තිබේ.
ඇමරිකානු පාර්ශවය අවධාරණය කරන්නේ ඉරානය සිය න්‍යෂ්ටික වැඩසටහන සහ යුරේනියම් තොග සම්පූර්ණයෙන්ම අත්හැරිය යුතු බවයි.
එසේම ඉරානයේ බැලිස්ටික් මිසයිල වැඩසටහන සහ කලාපීය සන්නද්ධ කණ්ඩායම්වලට (Hamas, Hezbollah, Houthi) දක්වන සහය නතර කළ යුතු බවද ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ පවසා ඇත.
කෙසේ වෙතත්, ඉරානය පවසන්නේ මෙම සාකච්ඡා න්‍යෂ්ටික වැඩසටහනට පමණක් සීමා විය යුතු බවත්, සිය ස්වෛරීභාවයට බලපාන බැලිස්ටික් මිසයිල වැනි කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කළ නොහැකි බවත්ය.
පසුගිය වසරේ ජුනි මාසයේදී ඊශ්‍රායල – ඉරාන යුද්ධය අතරතුර ඇමරිකාව ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට බෝම්බ හෙලීමෙන් පසු දෙරටේ නිලධාරීන් හමුවන පළමු අවස්ථාව මෙයයි.
පසුගියදා NBC පුවත් සේවය සමඟ අදහස් දක්වමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඉරානය එකඟතාවයකට නොපැමිණෙන්නේ නම් දැඩි ප්‍රහාර එල්ල කරන බවයි. ඉරාන විදේශ අමාත්‍යවරයාද ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ තම හමුදා “කොකා ගැස්වීමට සූදානමින්” (Fingers on the trigger) සිටින බවයි.
විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ 1979 විප්ලවයෙන් පසු ඉරාන පාලනය මේ වන විට දැඩි ආර්ථික සහ දේශපාලනික අස්ථාවරත්වයකට මුහුණ දී සිටින බැවින්, මෙම සාකච්ඡා ඔවුන්ට ලැබෙන අවසන් අවස්ථාව විය හැකි බවයි.
මෙම සාකච්ඡා සාර්ථක වුවහොත් කලාපීය සාමය උදෙසා නව රාමුවක් සකස් කර ගැනීමට හැකි වනු ඇතැයි මැදිහත්කරුවන් බලාපොරොත්තු වේ.