වඳවී ගිය සතුන් යළි නිර්මාණය කිරීමේ (De-extinction) අති නවීන තාක්ෂණය සහිත ‘Colossal Biosciences’ සමාගම, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ එක්ව සුවිශේෂී ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.
ඒ අනුව ඩුබායිහි පිහිටි “අනාගත කෞතුකාගාරය” (Museum of the Future) තුළ ලොව වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති සත්ව විශේෂවල සාම්පල ආරක්ෂා කර තැබීම සඳහා වූ දැවැන්ත “ජීව ආරක්ෂිත ගබඩාවක්” සහ ලෝක සංරක්ෂණ රසායනාගාරයක් ස්ථාපනය කිරීමට නියමිතය.
මෙම මධ්‍යස්ථානය මගින් ලොව පුරා වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති සත්ව විශේෂ 10,000කට අධික සංඛ්‍යාවක ශීත කළ පටක සහ DNA සාම්පල මිලියන ගණනක් ගබඩා කරනු ඇත.
සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බෙන් ලැම් පවසන්නේ, මෙය උත්තර ධ්‍රැවයේ පිහිටි “බීජ බැංකුවට” (Svalbard Global Seed Vault) සමාන වන බවයි.
“සත්ව සංරක්ෂණ කටයුතු සිදුවන වේගයට වඩා වැඩි වේගයකින් සත්ව විශේෂ වඳවී යනවා. ඒ නිසා පෘථිවියේ ජීවය සඳහා අපට ‘Back-up’ එකක් අවශ්‍යයි,” යනුවෙන් ඔහු සඳහන් කළේය.
පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී Colossal සමාගම තවත් විස්මයජනක පියවරක් තැබීය. ඒ, වඳවී ගොස් තිබූ “ඩයර් වුල්ෆ්” (Dire Wolf) නමැති වෘක විශේෂය අති නවීන ජාන තාක්ෂණය (Gene-editing) සහ ක්ලෝනීකරණය මගින් යළි නිර්මාණය කිරීමයි.
මෙහිදී අළු වෘකයෙකුගේ ජාන වෙනස් කරමින් එම විශේෂය යළි උපදවා ඇති අතර, එය ඩෝඩෝ පක්ෂියා සහ මැමත් වැනි සතුන් යළි බිහිකිරීමේ උත්සාහයට ලැබුණු විශාල ජයග්‍රහණයකි.
මෙය ලොව පවතින පළමු “ජීව බැංකුව” නොවුණත් (ඇමරිකාවේ Frozen Zoo සහ බ්‍රිතාන්‍යයේ Frozen Ark වැනි මධ්‍යස්ථාන දැනටමත් පවතී), ඩුබායිහි ඉදිවන මෙම නව ගබඩාව වඩාත් පුළුල් හා තාක්ෂණික මධ්‍යස්ථානයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කෙසේ වෙතත්, මෙවැනි සංකීර්ණ ව්‍යාපෘති සඳහා ජාත්‍යන්තර නීතිමය රාමුවක් සහ දිගුකාලීන පාලන ක්‍රමවේදයක් අවශ්‍ය බව විද්‍යාඥයන් පෙන්වා දෙයි.
ලෝක සංරක්ෂණ සංගමයේ (IUCN) රතු දත්ත පොතට අනුව, මේ වන විට සත්ව විශේෂ 48,000කට අධික සංඛ්‍යාවක් වඳවී යාමේ සෘජු තර්ජනයට මුහුණ දී සිටියි.