ලබන ඉරිදා ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වීමට නියමිත ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සොග් හට සමාජ මාධ්‍ය හරහා මරණ තර්ජන එල්ල කළ බව කියන 19 හැවිරිදි තරුණයෙකු සිඩ්නි නුවරදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) ප්‍රකාශ කළේ, “ජාත්‍යන්තරව ආරක්ෂිත පුද්ගලයෙකුට සහ විදේශීය රාජ්‍ය නායකයෙකුට” එරෙහිව පසුගිය මාසයේදී මෙම තර්ජනය එල්ල කර ඇති බවයි.
අදාළ තරුණයාට ඇප ලබාදීම පොලිසිය විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර, වරදකරු වුවහොත් ඔහුට වසර 10ක සිර දඬුවමක් නියම විය හැකිය.
පසුගිය දෙසැම්බර් මාසයේ සිඩ්නි නුවර බොන්ඩායි වෙරළ තීරයේ (Bondi Beach) යුදෙව් උත්සවයක් අතරතුර සිදුවූ වෙඩි තැබීමකින් 15 දෙනෙකු මියයාමේ සිද්ධියෙන් පසු, එහි දිවි ගලවා ගත් පිරිස් සහ මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් හමුවීම සඳහා අගමැති ඇන්තනි ඇල්බනීස් විසින් ඊශ්‍රායල ජනාධිපතිවරයාට මෙම ආරාධනය සිදුකර තිබුණි.
කෙසේ වෙතත්, ගාසා තීරයේ සිදුවන යුද අපරාධ සහ ජන සංහාරයන් සම්බන්ධයෙන් චෝදනා කරමින් පලස්තීන හිතවාදී කණ්ඩායම් සහ මානව හිමිකම් ක්‍රියාධරයන් මෙම සංචාරයට දැඩි විරෝධය පළ කරති.
ඊශ්‍රායල ජනාධිපතිවරයාගේ සංචාරය අවලංගු කරන ලෙස ඕස්ට්‍රේලියානු රජයට බලපෑම් එල්ල වෙමින් පවතින අතර, එරට ප්‍රධාන නගර 24ක පමණ ඔහුට එරෙහිව විරෝධතා සංවිධානය කර ඇත.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ හරිත පක්ෂ සෙනෙට් සභික ඩේවිඩ් ෂූබ්‍රිජ් (David Shoebridge) පවසා ඇත්තේ මෙම ආරාධනය වහාම හකුලා ගත යුතු බවයි.
මේ අතර ඊශ්‍රායල ජනාධිපතිවරයාට එරෙහිව යුද අපරාධ සම්බන්ධයෙන් පොලිස් පැමිණිලි ඉදිරිපත් කිරීමටද ඇතැම් කණ්ඩායම් සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.