Latest News

T20 තරගාවලිය ගැන පාකිස්තානය සහ බංග්ලාදේශය ගත් තීරණයට නසාර් හුසේන්ගෙන් සහය

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2026 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමටත් පෙර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) දැඩි අර්බුදයකට මුහුණ දී සිටියි.

ඒ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත තරග සඳහා සහභාගී වීම බංග්ලාදේශය ප්‍රතික්ෂේප කිරීමත්, ඔවුන්ට සහය දක්වමින් පාකිස්තානය ඉන්දියාව සමඟ තරගය වර්ජනය කිරීමට තීරණය කිරීමත් සමඟයි.

කෙසේවෙතත් හිටපු එංගලන්ත නායක සහ සුප්‍රකට විචාරක නසාර් හුසේන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාකිස්තානය සහ බංග්ලාදේශය ගත් දැඩි ස්ථාවරය අගය කර තිබේ.

Sky Cricket පෝඩ්කාස්ට් වැඩසටහනකට එක්වෙමින් නසාර් හුසේන් කියා සිටියේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ දේශපාලනය සහ මුදල් බලය ඉහළ යාම කණගාටුවට කරුණක් බවයි.

ඒ අනුව “පාකිස්තානය බංග්ලාදේශය වෙනුවෙන් පෙනී සිටීම ගැන මම සතුටු වෙනවා. කවුරුන් හෝ කවදා හෝ මේ දේශපාලනයට ‘දැන් ඇති’ කියන්න ඕනෑ. අපට නැවත ක්‍රීඩාවට අවධානය යොමු කරන්න බැරිද?” යැයි හුසේන් ප්‍රශ්න කළේය.

මෙහිදී නසාර් හුසේන් ICC යේ පාලනය සහ එහි පවතින අසමානතාවය පිළිබඳව සෘජු ප්‍රශ්නයක් මතු කළේය.

ප්‍රශ්නය: බංග්ලාදේශය වෙනුවට ඉන්දියාව මෙවැනි තීරණයක් ගත්තේ නම් ICC ය ඔවුන්වද තරගාවලියෙන් ඉවත් කරනවාද?

හුසේන්ගේ මතය: “සියලු පාර්ශ්වයන් බලාපොරොත්තු වන්නේ නීතිය සැමට සමාන වීමයි. අනාගතයේදී ඉන්දීය රජය ඔවුන්ගේ ක්‍රීඩකයන්ට වෙනත් රටකට යන්න එපා කිව්වොත්, ICC ය ඉන්දියාවටත් ‘නීතිය මේකයි, ඔබ තරගාවලියෙන් ඉවත් කරනවා’ කියලා කියයිද?”

එමෙන්ම ඉන්දියා – පාකිස්තාන තරගය යනු ICC යට වැඩිම ආදායමක් ගෙන දෙන තරගයයි. පාකිස්තානය මෙම තරගය වර්ජනය කිරීම හරහා ICC යට සහ ඉන්දියාවට මූල්‍යමය වශයෙන් දැඩි බලපෑමක් එල්ල කළ හැකි බවත්, බලධාරීන්ට දැනෙන එකම ක්‍රමය එය විය හැකි බවත් හුසේන් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙම අර්බුදය හමුවේ 2026 ලෝක කුසලානයේ ඉදිරි ගමන පිළිබඳව මේ වන විට දැඩි අවිනිශ්චිතතාවයක් මතුව තිබේ.

ආරක්ෂක හේතූන් මත ඉන්දියාවේ පැවැත්වෙන තම තරග වෙනත් රටකට මාරු කරන ලෙස බංග්ලාදේශය කළ ඉල්ලීම ICC ය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

ඒ හේතුවෙන් බංග්ලාදේශය තරගාවලියෙන් ඉවත් කිරීමට ICC ය පියවර ගත් අතර, ඊට විරෝධය පාමින් පෙබරවාරි 15 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිත ඉන්දියා – පාකිස්තාන තරගය වර්ජනය කරන බව පාකිස්තානය නිවේදනය කළේය.

World News

Send your contact Details Today