Latest News

අමෙරිකාවේ මිනසෝටා ගැටුම්වලින් පසු ට්‍රම්ප්ගෙන් විශේෂ නිවේදනයක්

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවේ මිනසෝටා (Minnesota) ප්‍රාන්තයේ ෆෙඩරල් නිලධාරීන් සහ සිවිල් වැසියන් අතර ඇති වූ ගැටුම්වලින් අමෙරිකානු පුරවැසියන් දෙදෙනෙකු මියයාමත් සමඟ, සංක්‍රමණික මෙහෙයුම්වලදී වඩාත් “මෘදු පිළිවෙතක්” (Softer touch) අනුගමනය කරන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

NBC පුවත් සේවය සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ඒ අනුව මෙහෙයුම් අතරතුරදී ඇලෙක්ස් ප්‍රෙට්ටි සහ රෙනී ගුඩ් යන අමෙරිකානු පුරවැසියන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප් සිය කනගාටුව පළ කළේය.

කෙසේ වෙතත්, තම පාලනය යටතේ සිදුකරන මෙහෙයුම්වල ප්‍රධාන ඉලක්කය මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයින් සහ කල්ලි සාමාජිකයන් වැනි “දරුණු ගණයේ අපරාධකරුවන්” බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මේ අතර පසුගිය දෙසැම්බර් මාසයේ ආරම්භ වූ ‘මෙට්‍රෝ සර්ජ්’ (Operation Metro Surge) මෙහෙයුම යටතේ මිනියාපොලිස් ප්‍රදේශයට යොදවා සිටි ෆෙඩරල් නියෝජිතයන් 700ක පිරිසක් ඉවත් කර ගැනීමට තීරණය කර ඇති බව අමෙරිකානු දේශසීමා ප්‍රධානී (Border Tsar) ටොම් හෝමන් පැවසීය.

නමුත් මේ වන විට එම ප්‍රදේශයේ තවදුරටත් නිලධාරීන් 2,000ක් තවමත් රැඳී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

මේ අතර, ට්‍රම්ප්ගේ ප්‍රධාන උපදේශකයෙකු වන ස්ටීවන් මිලර් සහ ජනාධිපතිවරයා අතර යම් යම් මතභේද පවතින බවට වෝල් ස්ට්‍රීට් ජර්නලය වාර්තා කර තිබේ.

මිලර් විසින් ගනු ලබන ඇතැම් දැඩි ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපතිවරයා සෑහීමකට පත් නොවන බව එම වාර්තාවේ සඳහන් වේ.

කෙසේ වෙතත් ධවල මන්දිරය එම වාර්තා ප්‍රතික්ෂේප කරමින් මිලර් තවමත් විශ්වාසවන්ත නිලධාරියෙකු බව පවසා ඇත.

World News

Send your contact Details Today